ෆුල් ටෑන්ක් ගහල බැරලුත් පුරවගන්න එපා..! ඉන්ධන අර්බුදය වෙලාවේ අනික් අය ගැනත් හිතන්න..!

April 1, 2022 at 12:00 pm | by emanisa.lk

ඉන්ධන පිළිබඳව දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබියදී ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළ ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3000ක් වුවද මේ වන විට එය මෙට්‍රික් ටොන් 5500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, ඇමතිවරයා පවසන්නේ.

දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 5500 සිට 7300 දක්වා ඉහළ ගොස් ඇති බව ද සරත්වීරසේකර සඳහන් කරයි.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාව ද වගකීමෙන් කටයුතු කළයුතු බව පෙන්වා දෙන ඇමතිවරයා, වාහන ෆුල් ටෑන්ක් කර බූලිවලට ද ඉන්ධන පුරවා ගැනීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියි.

එසේ කටයුතු කළහොත් අනෙක් පුද්ගලයන්ට ද අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබා ගැනීමට හැකිවන බව ද ඔහු පවසයි.

ඉන්ධන හා ගෑස් අර්බුදයට හේතුව විදේශ විනිමය ගැටලුව වන බැවින් කුමන ආණ්ඩුවක් තිබුණ ද ඉන්ධන හා ගෑස් අර්බුද ඇතිවන බව ද සරත් වීරසේකර පෙන්වා දෙනවා. මේ නිසා සියලු අර්බුදවලට ආණ්ඩුවට පමණක් වගකිව නොහැකි බවද ඔහු සඳහන් කරයි.

රටේ ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සියලු දෙනා වගකිව යුතු බවත්, මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස