හොර සර්වපාක්ෂික ආණ්ඩු අටමගුල් බෑ…! වෙඩි කෑ අරගලකරුවන්ට බලය දෙනු…! – වසන්ත මුදලිගේ..

July 10, 2022 at 6:48 pm | by emanisa.lk

ඉල්ලා අස්වීම සඳහා තව දුරටත් නැකත් බලමින් නොසිට වහාම ඉල්ලා අස්වීමේ ලියුම් භාරදෙන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දෙන බව ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.

රටේ ජනතාව ඉවත්ව යන්නැයි කී පසු නැකත් අදාළ නොවන බවත්, ඉල්ලා අස්වීම නොදී කුමන හෝ ක්‍රමයකින් තව දවසක් හෝ බලයේ සිටීමට ඔවුන් උත්සාහ කරන්නේ නම් එයට ඉඩ නොදෙන බවත්, ඔවුන් ඉල්ලා අස්වන තුරු ජනතාව දැනට අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි ජනතා අයිතියෙන් ඉවත් නොවනු ඇති බවත්, අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙපළ ඉවත් වූ පසු ගොඩනැගිය යුත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොව අරගලකරුවන් ද සම්බන්ධ වූ, ජනතාවගේ ආර්ථික දේශපාලන ඉල්ලීම් ඉටුකරගත හැකි අන්තර්කාලීන පාලනයක් බවත් ඔහු සඳහන් කළේය.

සර්වපාක්ෂික ආණ්ඩු ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ උත්සාහ කරන්නේ නම් එයට ඉඩ නොදෙන බව කී මුදලිගේ, ‘ජනතාව අරගල කළේ, තරුණයන් වෙඩි කෑවේ හා තෙල් පෝලිම්වල මියගියේ සර්වපාක්ෂික අටමගුල් අටවා තවත් හොර නඩයට අවස්ථාව දෙන්නට නොවේ.” යැයි ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමේ පිහිටි සිනමා ශාලාවේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *