ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ද වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ නඩුව කැඳවු අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ ලබා දී නොමැත.
ඒ හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (23) විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එම නඩු කටයුත්ත සිය මාධ්‍ය වෙනුවෙන් වාර්තා කිරීම සඳහා පැමිණ සිටි අධිකරණ මාධ්‍යවේදීන් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාගේ නියෝගයෙන් අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට අධිකරණ පොලිස් නිලධාරියා පියවර ගෙන ඇත.
එම නඩුවේ පැමිණිල්ල මෙහෙය වන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා ඉල්ලීමක් අනුව විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.
ස්ත්‍රී දූෂණ නඩුවක හෝ ළමා අපචාර නඩුවක අගතියට පත් පාර්ශ්වය සාක්‍ෂි ලබාදෙන අවස්ථාවක දී බාහිර පාර්ශ්ව ඉවත් කර නඩු විභාගය රහසිගතව පවත්වාගෙන යෑමට අධිකරණය නීතිමය බලයක් ඇත. එවන් සුවිශේෂී තත්ත්වයක් නොතිබියදීත් සිය කරුණු දැක්වීම මාධ්‍යවේදීන් ඉවත් කර රහසිගතව සිදු කිරීමට රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටීම මෙන්ම ඒ සඳහා අවසර ලබාදීම ද ගැටලු සහගතය.
පෙර කී සුවිශේෂී අවස්ථාවක් හෝ රටේ ජාතික ආරක්‍ෂාවට බලපාන කිසිදු කරුණක් නොමැතිව එලෙස රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අධිකරණ මාධ්‍යවේදීන් එලෙස අධිකරණ ශාලාවෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා හා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට අධිකරණ මාධ්‍යවේදීහු පියවර ගනිමින් සිටිති.