හම්බන්තොට ප්‍රබලයාට දණ නොනැමූ ඉඩම් කොමසාරිස් පන්නයි…!

February 9, 2022 at 8:51 am | by emanisa.lk

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම මත ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා ඊයේ (08) ඉවත් කර ඇත.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දෙපාර්ශ්වයක් අතර පැවැති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයාට ලැබුණු පැමිණිල්ලක් විභාග කර සාධාරණය ඉටුකිරීමට යාම නිසා ඉඩම් කොමසාරිස්වරයා ප‍්‍රබල දේශපාලනඥයාගේ උදහසට ලක්වී ඇතැයි දැනගන්නට තිබේ.

මෙම ඉඩම් ආරවුලට හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම්වරයා විසඳුමක් ලබාදී තිබිය දී ඉඩම් කොමසාරිස්වරයා මැදිහත් වී විසඳුම් ලබා දුන්නේ කෙසේදැයි ප‍්‍රබල දේශපාලනඥයා ප්‍රශ්න කර ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් කොමසාරිස්වරයා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ හම්බන්තොට දෙපාර්ශ්වයක් අතර පැවැති ගැටලුවක් පිළිබඳව තමාට පැමිණිලි ලැබීමෙන් පසු එය විසඳා සාධාරණ තීන්දුවක් ලබා දීමට කටයුතු කළ බවය.

තමා ඉඩම් කොමසාරිස්වරයා ලෙස පත්වී මාස 15ක් පමණ වන බවත් එම කාලයේ ජනතාව වෙනුවෙන් කළ හැකි සේවය සාධාරණව ඉටු කළ බවත් ඔහු කීය. තමා ඉවත් කළ බවට ලිපියක් ලැබී ඇතත් එය ඊයේ (08 දා) සවස් වන තෙක් අතට නොලැබුණු බව ද එය ලැබුණහොත් රාජ්‍ය සේවයට ආයුබෝවන් කියමින් නිවසට ගොස් විශ‍්‍රාම වැටුපෙන් ජීවත් විය හැකි බව ද හෙතෙම කියා සිටියේය.

තමා ඉවත් කිරීමට ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේනගේ සම්බන්ධයක් නොමැති බව කී කීර්ති ගමගේ තමාට එරෙහිව පරීක්ෂණයක් පවත්වනවා නම් එයට මුහුණ දීමට සූදානමින් සිටින බව ද වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *