සිංහල අලුත් අවුරුදු නැකැත් මෙන්න….!

April 13, 2021 at 3:02 pm | by emanisa.lk

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙටට(14) යෙදී තිබේ. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ.

මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට පුර්වභාග 2.33ට අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍යකාලය අද (13) අපරභාග 8.09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.

ආහාර පිසීම හෙට දින පුර්වභාග 06.17ට ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කර ගැනීම සුදුසු බව නැකැත් චාත්‍රවල සඳහන්ය.

හෙට පුර්වභාග 07.41ට ළා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වේ.

කෙසේ වෙතත් දිවයින තුළ පවත්නා පීඩාකාරී තත්ත්වය හේතුවෙන් නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයින් සමඟ සිදුකිරීමට පියවර ගන්නා ලෙස මෙවර ද සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරති.

මේ අතර අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.16ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, හිසට නුග පත් ද, පයට කරුඳ පත් ද තබා නුග පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

අප්‍රේල් මස 19 වන සඳුදා දින පූර්වභාග 6.39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කා කැවිලි අනුභව කොට දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටව යෑම සුබය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *