සැප්තැම්බරයේ සම්පූර්යෙන් රට විවෘත කරනවා….! සැප්තැම්බරයට පෙර සැමට පළමු එන්නත් මාත්‍රාව ලබා දෙනවා….! – හමුදාපති….

July 14, 2021 at 4:23 pm | by emanisa.lk

විශාල අර්බුදයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රටේ සියලු ම ජනතාවට සැප්තැම්බර් මාසය වන විට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රට හැමදා ම වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි කී ශවේන්ද්‍ර සිල්වා අවශ්‍ය සියලු ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙන බවද පැවසුවේය.

එසේම විදේශිකයන් සඳහා රට විවෘත කිරීමට ද සාකච්ඡා අරඹා ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ සම්බන්ධයෙන් දිගින් දිගට ම කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදිය හැකි වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කීවේය.

රට පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර ඇතැයි පැවසූ හමුදාපතිවරයා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස