සාමාජිකයින්ට තර්ජනය කරන්න මැරයෝ ගෙනාවේ සභාපති ජනක…! – පොලිසිය…

January 23, 2023 at 6:35 pm | by emanisa.lk

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව කොල්ලුපිටියේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයට ගිය අවස්ථාවේදී එහි සාමාජිකයන් තිදෙනකුට එරෙහිව විරෝධය දක්වමින් කොමිෂන් සභාවේ උප සභාපති උදේනි වික්‍රමසිංහ සහ මොහාන් සමරනායකට බැණ තර්ජනය කළේ යැයි කියන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පෙරේදා (21) කළ නියෝගයකට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයකු වන මොහාන් සමරනායකගේ නිවසට ගොස් පැමිණිල්ලක් සටහන් කර ගැනීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් පියවර ගෙන තිබිණි.

ජනවාරි 01 වෙනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණය පිළිබඳ කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙන බවත් ඒ අනුව එම ඉල්ලීම ගැන සාකච්ඡා කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය 20 වෙනිදා කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි මර්චන්ට් ටවර් හි 17 වැනි මහලේ පිහිටි මහජන උපයෝගීතා කොම්ෂන් සභා කාර්යාලයේදී රැස්වූ බවත් එහිදී මොහාන් සමරනායක පොලිසියට පවසා තිබේ.

එම සාකච්ඡාවට සහභාගි වීමට තමාත් කොමිෂන් සභාවේ උප සභාපති උදේනි වික්‍රමසිංහත් සවස 2.30ට පමණ කොමිෂන් සභා කාර්යාලය වෙත ගමන් කරමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් “මොහාන්, උදේනි, චතුරික ජනතාව පාවා දෙයි. රටට ද්‍රෝහි වෙන්න එපා” වැනි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාව පල කරමින් සිටි බව ද මොහාන් සමරනායක පොලිසියට සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාව අවසන් වී නැවත කාර්යාලයෙන් පිටතට එන විටදී ද කොමිෂන් සභා කාර්යාල පරීශ්‍රයේ රැඳී සිටි එම පිරිස තමන්ට බාධා කරමින් දෝෂාරෝපණය සහ අවමන් කරමින් ජීවිත හා දේපොළවලට හානි කරන බවට තර්ජනය කළ බව ද ඔහු පොලිසියට සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව පෙනී ගොස් ඇත්තේ එම ස්ථානයට මෙම විරෝධතාකරුවන් කැඳවා ඇත්තේ කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක බවය. ඒ බව මොහාන් සමරනායකගේ ප්‍රකාශයෙන්ද පැහැදිලි වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභා පරීශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු විය නොහැකි බව පොලිසිය කියයි. ආරක්ෂක නිලධාරීන්ට සභාපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පිරිස කොමිෂන් සභාව තුළට ඇතුළු වී ඇති බවද පොලිස් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. එහිදී සිදු වූ සියල්ලල වීඩියෝගත කර ඇති බව ද පොලිසිය කියයි. සංවිධානාත්මකව මෙම පිරිස මෙදින කොමිෂන් සභා පරීශ්‍රයට පැමිණ ඇති බවත් ඔවුන් කොමිෂන් සභාවේ සාමාජිකයන්ව බිය ගන්වමින් බලපෑමක් කිරීම සඳහා එසේ හැසිරී තිබෙන බව මූලික විමර්ශනවලින්ම පෙනී ගොස් තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොහාන් සමරනායක මහතා සමඟ මෙසේ තර්ජනයට ලක්වූ කොමිෂන් සභාවේ උප සභාපති උදේනි වික්‍රමසිංහ ගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට කොල්ලුපිටිය පොලිසිය සූදානම් වී ඇත. එහෙත් ඔහු කොළඹින් බැහැර සිටින බැවින් අද(23) දිනයේ බොහෝ විට ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හැකිවනු ඇති බව ද පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් ඔහුගෙන් දුරකතනයෙන් කරුණු විමසීමක් කළ බව පොලිසිය කියයි.

එම ප්‍රකාශද සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කර මාධ්‍යවල පළවූ මෙම සිදුවීමට අදාළ සංස්කරණය නොකළ දර්ශන පවා ලබාගෙන කොමිෂන් සභාවේ සාමාජිකයන්ට තර්ජනය කළ පිරිසට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානමින් සිටියි. ඒ සඳහා කොමිෂන් සභාව පිහිටි ගොඩනැඟිල්ලෙහි ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් පවා ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *