සහරාන්ට ඉන්දියාවට පැනලා යන්න උදව් කළේ බදියුදීන්ගේ මල්ලි රිෆ්කාන්! – රිෂාඩ් බදියුදීන් බිත්තියට හේත්තු කරමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හෙළි කරයි…

August 19, 2020 at 12:38 pm | by emanisa.lk

වරෙන්තු නිකුත් කර තිබූ සහරාන් හෂීම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුද්දීන් උපකාර කර ඇතැයි පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසමේදී ඊයේ (18 වැනිදා) පැවසීය.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයකින් පළමු පූර්ව දැනුවත් කිරීම සිදුකිරීමෙන් අනතුරුව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් තමා මේ පිළිබඳ දැනුවත් කළ බවයි.

එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමන් අපරාධකරුවෙකු ලෙස සලකා ප්‍රශ්න කිරීම සිදුකළ බවට නිලන්ත ජයවර්ධන ඊයේ (18 වැනිදා) ජනාධිපති කොමිසමේදී චෝදනා කළේය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් නිලන්ත ජයවර්ධන කියා සිටියේ බුද්ධි තොරතුරු බෙදාගැනීමට තමන්ට රාජකාරිමය බලයක් නොමැති වුවද, එවකට ජාතික බුද්ධි ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්ට එවැනි බලයක් තිබූ නිසා 2019 අප්‍රේල් 04 වැනි දින ලැබූ පළමු පූර්ව දැනුවත් කිරීමේ තොරතුර අප්‍රේල් 07 වැනි දිනම ජාතික බුද්ධි ප්‍රධානියාට යොමු කළ බවයි.

අදාළ යොමුකිරීමට පිළිතුරු ලිපියක් ලෙස එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් සහරාන් හෂීම්ගේ ජීව දත්ත සහ පෞද්ගලික තොරතුරු ඇතුළත් වාර්තාවක් අප්‍රේල් 08 වැනි දින තමන්ට යොමුකළ බවද සාක්ෂිකරු පැවසීය.

ජාතික බුද්ධි ප්‍රධානියා යොමුකළ එම වාර්තාවේ දැක්වුණේ අධිකරණ වරෙන්තුවක් ලැබීමෙන් පසු සැඟව සිටි සහරාන් හෂීම් කුරුණෑගල, මාවතගම හරහා මන්නාරමට ගොස් එහි සිට ඉන්දියාවේ කාශ්මීරය වෙත බෝට්ටුවකින් පළා ගිය බවට වූ තොරතුරක් යැයි නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එසේම සහරාන් හෂීම්ට එලෙස ඉන්දියාවට බෝට්ටුවකින් පළා යාමට හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සහෝදරයකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුද්දීන් උපකාර කර ඇති බව එම වාර්තාවේ සඳහන් වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

කාෂ්මීරයේ සිට අයි.එස්. මතවාදයට පුද්ගලයන් අභිප්‍රේරණය කරමින් සිටි සහරාන් හෂීම් නැවත මෙරටට පැමිණ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සැඟව සිටින බව එම වාර්තාවේ සඳහන්ව තිබූ බව නිලන්ත ජයවර්ධන අදාළ වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස