සම්පායෝ අත්අඩංගුවට ගත්තා නෙමෙයි සාදරයෙන් පිළිගත්තා! වොයිස් කට් දෙන්න මාධ්‍යවේදියෙක් එනකල් ජිප් එකේ බලාගෙනත් හිටියා! – cctvවලට බොරු කළ නොහැකි බව නීතිපති කියයි…

August 21, 2020 at 8:38 am | by emanisa.lk

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා සඳහන් කරයි.

නීතිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙමින් මේ බව පැවසීය. ඒ අනුව අදාළ CCTV දර්ශන විශ්ලේෂණය කිරීමේදී මෙය අත්අඩංගුවට ගැනීමක් නොවන බවත් වරෙන්තු කරුවෙකුට ලබාදුන් සුහද පිළිගැනීමක් බවත් ප්‍රකාශයක් නිකුත්කරමින් නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන්ට පහසුකම් ලබා දීමේ චෝදනාව මත වරෙන්තු නිකුත් කෙරුණු එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ වරෙන්තු නිකුත් කිරීමෙන් පසු දින 11 ක කාලයක් අධිකරණය මග හරිමින් කටයුතු කළ බවත්ය.

පසුව ඔහු කුරුණෑගලදී අත්අඩංගුවට ගත් බව සඳහන් වූවද එය අත්අඩංගුවට ගැනීමක් නොවන බවත් ඇතැම් පාර්ශ්වයන් චෝදනා කළාය. කෙසේ වෙතත් සම්පායෝ අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබූ CCTV කැමරාවක දර්ශන පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබූ අතර එහිදී සම්පායෝ අත්අඩංගුවට ගැනීම යැයි පවසා කුරුණෑගලට ගිය මීගමුව මූලස්ථානය පොලිස් පරික්ෂකවරයා රැඳී සිටින ජීප් රථයක් ඒ ආසන්නයේ නවතා තිබූ අතර ඊට පිටුපසින් අනුරුද්ධ සම්පායෝගේ සහෝදරයා රැඳී සිටි සුදු වෑන් රථයක් නවතා තිබෙන අයුරු CCTV කැමරාවල සටහන් වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම වෑන් රථය ආසන්නයේ සම්පායෝගේ සහෝදරයා යමෙකු පැමිණෙන තෙක් බලා සිටින අයුරුද සටහන් වී තිබේ. ඊට සුළු වේලාවකට පසුව රතු පැහැති ඩිස්කවරි ස්පෝට්ස් වර්ගයේ ජීප් රථයකින් එම ස්ථානයට පැමිණෙන අතර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා එහිදී ඔහුව ඉතා සුහද අයුරින් පිළිගන්නා බවද නීතිපති දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

අනතුරුව දුරකතන ඇමතුමක් ලබා ගන්නා සම්පායෝ එම දුරකතනය පොලිස් පරික්ෂකවරයාට ලබා දෙන අයුරුත් ඊට පිළිතුරු ලබාදුන් පොලිස් පරික්ෂකවරයා සම්පායෝගේ උරහිසට අත තබා ඉතා සුහදව කටයුතු කරන අයුරුත් මෙම CCTV කැමරාවේ සටහන් වී තිබේ.

එම ස්ථානයට තවත් පුද්ගලයෙකු පැමිණෙන බලාපොරොත්තුවෙන් රැඳී සිටින මොවුන් දෙසට මාධ්‍යවේදියෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු පැමිණෙන අතර ඔහුගේ ජංගම දුරකතනයෙන් සම්පායෝගේ ප්‍රකාශයක් පටිගත කර ගන්නා අයුරු මෙම CCTV දර්ශන තුළ හොඳින්ම සටහන් වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර පොලිසිි ය සඳහන් කළේ බුද්ධි මෙහෙයුමක් මගින් සම්පායෝ අත්අඩංගුවට ගත් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස