අධිකරණ වරෙන්තු ලැබූ සම්පායෝ දින 11ක් හැංගිලා හිටියේ කාගේ හයියකටද? පොලිසි ගාණක් පහුකරලා කුරුණෑගල ගිය මීගමු OIC යාළුවා සම්පායෝ ඇල්ලුවේ ඇයි?

August 4, 2020 at 9:23 am | by emanisa.lk

අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝග නොතකා සැප පහසුව දින 11 කට අධික කාලයක් තිස්සේ සැඟව සිට හිතුන විටෙක පැමිණ පොලිසියට භාරවීමට හෝ පොලිස් අත්අඩංගුවට පත්වීමට තරම් බලයක් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ නමැත්තා ආරූඪ කරගනු ලැබුවේ කුමන බලවතාගේ අනුහසින් දැයි ඉදිරි දිනයේදී අධිකරණයට හෙළි කරන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (3) මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේය.

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා විසින් කිලෝ මීටර් 72 ක් දුරගෙවා කුරුණෑගලට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිසියට රැගෙන ඒමත් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඉදිරිපිටදී ජීප් රථයේ සිට මාධ්‍ය අමතා එවැනි සැකකරුවකුට කරුණු දැක්වීමට ඉඩදීමට අදාළවත් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී මීගමුව වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ කේ. ජී. ගුණදාසට පෙන්වා දුන්නේය.

වරෙන්තුකරුවකුට එතරම් දිනක් අධිකරණය මගහැර සිටීමට ආධාර අනුබල දෙනු ලැබුවේ කවුරුන් විසින්ද, ඔහු සැඟවී සිටියේ කුමන ස්ථානවල දැයි කියා දීර්ඝ ලෙස විමර්ශනය කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නීතියට ඉහළින් කිසිවකු නොමැති බවද පෙන්වා දුන්නේය.

එකී සැකකරු අධිකරණයට පැමිණ විත්තිකූඩුවට නගිනාතුරු සිටියේ මුඛ ආවරණ නොමැතිව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බවද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙකී සියලු කරුණුවලින් පෙන්නුම් කරනුයේ තමන් නීතියට අවනත නැති නීතියට ඉහළින් සිටින්නකු යැයි කියන සැකකරුගේ ආකල්පය වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා පොලිසියට භාරවුණා මිස ඔහුව පොලිසිය අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවත් ඔහු එලෙස භාර වූයේ රජය අපහසුතාවට පත් නොකර භාරවන ලෙසට ලැබුණ පණිවිඩ අනුව බවත් සැකකාර අනුරුද්ධ සම්පායෝ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කැලුම් කුමාරසිංහ අධිකරණයට පෙන්වා දුන්නේය.

ඔහුට එලෙස පොලිසියට භාරවන ලෙසට පණිවිඩ එවනු ලැබුවේ කවුරුන් දැයි මෙම අවස්ථාවේදී තමන් හෙළි නොකරන බව එහිදී අධිකරණයට පෙන්වා දුන් නීතිඥ කැලුම් කුමාරසිංහ පොලිස් මූලස්ථානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පවා ඔහු පොලිසියට භාරවූ බවට අනාවරණය කර ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එක් එක් අය මාධ්‍ය හමුවලදී කුමක් අනාවරණය කළත් එකී සැකකරුව කුරුණෑගලදී අත්අඩංගුවට පත්වූ බව විමර්ශන නිලධාරීන් සිය විමර්ශන වාර්තාව අනුව පෙන්වාදී ඇත්තේ යැයි අධිකරණයට පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වන අවස්ථාවේදී විත්තියේ නීතිඥ කැලුම් කුමාරසිංහ දිගින් දිගටම බාධා කරමින් කරුණු දක්වනු දක්නට ලැබිණි.

රජයේ නිවාඩු දිනයක රජයේ නිලධාරීන් වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප‍්‍රමුඛ තිදෙනකුගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් මෙම නඩු කටයුත්ත සඳහා නීතිපති දෙපාර්තමේන්තුව කොතරම් උනන්දුවක් දක්වන්නේ යැයි ද නීතිඥ කැලුම් කුමාරසිංහ අධිකරණයට පෙන්වා දුන්නේය.

රජයේ නිවාඩු දිනයක් වන පෝය දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට උත්සුක වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී තමන් නීතිමය පියවර ගන්නේ යැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් සැකකරුගේ නීතිඥවරයා මාධ්‍ය සංදර්ශන පවත්වමින් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය

මෙකී නඩුකරයේ පවතින වැදගත්කම සලකා විමර්ශන නිලධාරීන්ට නීත්‍යනුකූල ආකාරයෙන් කටයුතු කිරීමට ශක්තිය ලබාදීමේ අරමුණින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් ඇතුළු නිලධාරීන් පෙනී සිටිනුයේ නීතිමය රාමුව අනුව බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදයකයාව මීගමුව බන්ධනාගාරය හැර වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙසද සැකකාර සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර තමන් එම ඉල්ලීමට විරුද්ධත්වයක් නොදක්වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා නඩු සම්බන්ධයෙන් කටයුතු කරනුයේ මිනී කපා එම්බාම් කරන ආකාරයෙන් වන්නේ යැයිද නීතිඥ කැලුම් කුමාරසිංහ එහිදී අධිකරණයට පෙන්වා දුන් අතර රාජ්‍ය නිලධාරීන්ගෙන්ම කප්පම් ගන්නා විට සිය දෙපාර්තමේන්තුවට නිහඬව සිටින ලෙසට සැකකරුගේ නීතිඥවරයා පවසන්නේ දැයි දිලීප පීරිස් එහිදී ප‍්‍රශ්න කළේය.

එම නඩුව අද (4 දා) පස්වරු 2.00 ට යළි කැඳවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස