සමහර පොලිස් ලොක්කොත් අරගලයට සපොට් කළා..! අන්තිමට අරගලකාරයෝ පොලිසියටත් ගහලා පැන්නුවා..! – ඇමැති ප්‍රසන්න…

January 15, 2023 at 7:57 pm | by emanisa.lk

පොලිසිය ගැන මහ ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමට යම් සංවිධානාත්මක පිරිසක් කුමන්ත්‍රණයක නිරත වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම පිරිස ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යොදා ගනිමින් මෙම කුමන්ත්‍රණයේ නිරතවන බව ය.

මත් උවදුර හා අපරාධ මැඩලීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් සමග ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“රටේ නීතිය හා සාමය අවභාවිත කර පොලිසිය කෙරෙහි මහ ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමට යම් පිරිසක් සංවිධානාත්මකව කටයුතු කරනවා. ඔවුන් මේ කුමන්ත්‍රණයේ යෙදෙන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරමිනුයි.

විශේෂයෙන් ම පොලිසියට එරෙහිව ෆේස්බුක් එකේ පෝස්ට්, කමෙන්ට් දානවට මේ කුමන්ත්‍රණකරුවන් මුදල් ගෙවනවා. මේ වැඩපිළිවෙළේ උච්චතම අවස්ථාව උදා වුණේ මැයි 9 වන දා. එදා කුඩුකාරයො සීනියර් ඩී.අයි.ජීටත් පහර දුන්නා. මේවයි පිටි පස්සෙ හිටියේ කුඩුකාරයොයි, පාතාලයයි. අපේ රටට වැඩියෙන් ම මත්ද්‍රව්‍ය ඇවිල්ලා තියෙන්නේ අරගලය කාල සීමාවේදී යි.

අපි මේව මුලදී ම කිව්වා. ඒත් කවුරුත් ගණන් ගත්තෙ නැහැ. සමහර පොලිස් නිලධාරීනුත් මේවට උදව් කරනවා. මිනුවන්ගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිතුමා මැයි 9 වන දා වෙනකොට හිටියේ අරගලයත් එක්ක.

ඒ වගේ සමහර පොලිස් ස්ථානාධිපතිවරුන් අරගලය එක්ක සම්බන්ධයි. ඒ නිසා තමයි අරගලකාරයෝ ශක්තිමත් වුණේ. හැබැයි අරගලකරුවන් පොලිසියට ම පහර දෙනකොට තමයි පොලිසියට සැබෑ තත්ත්වය තේරුණේ. පොලිසිය ශක්තිමත් වුණා නම් එහෙම වෙන්නෙ නෑ.

⁣මගේ ගේ ගිනි තියන⁣කොට මම තොරතුරු ගත්තා. ඒ කාලේ මගේ හිතවතුන් එතෙන්ට දාල. වාහන අංක පවා හොයා ගත්තා. පොලිසියෙන් විස්තර ගන්න හිටිය නම් මට ජීවිතේට විස්තර හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මම ඒ සියලු ම විස්තර පොලිසියට දුන්නා. අපි තොරතුරු දන්නව නම් පොලිසිය ඒ තොරතුරු නොදැන ඉන්න විධියක් නැහැනේ.

මම පහුගිය කාලේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමග කතා කළා. තමන් දන්න තොරතුරු පොලිසියට දෙන්න ඒ අය බයයි. මොකද තොරතුරු පොලිසියෙන් එළියට යනවා. එතකොට තොරතුරු දුන්න මිනිහට තර්ජන එනවා. පළාත් පාලන මන්ත්‍රීවරුන් සමග සම්බන්ධවෙලා පොලිසිය කටයුතු කළොත් පහළ මට්ටමේ තොරතුරු ගන්න පුළුවන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිර යෑම වළක්වන්න සමහර කොට්ඨාශවල හොඳට වැඩ කෙරෙනවා. සමහර කොට්ඨාශවල වැඩ කෙරෙන්නේ නැහැ. මිනුවන්ගොඩ ඉස්කෝලවල ගුරුවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන පොලිසියට තොරතුරු දෙනවා. මොකද ළමයගෙ වෙනස්වීම හොඳට ම දන්නේ ගුරුවරු. දැන් මේ වැඩපිළිවෙළ ගැන පසුවිපරමක් කරන්න ඕන.

ඊයෙ පෙරේදා ගම්පහ පළාත් පාලන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගෙන් කප්පන් ඉල්ලලා තිබුණා. එක මන්ත්‍රී කෙනෙක් සල්ලිත් දාල. දැන් තත්ත්වය නරක අතට හැරීගෙන යනවා. අපි මේක හරියට පාලනය කරන්න ඕන. ගම්වල තරුණ පිරිස් මේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්න. කුඩුකාරයන්ට එරෙහිව තදින් වැඩ ⁣කළොත් පොලිසියට මහ ජනතාවගේ ගෞරවය ලැබෙනවා.

ඉස්සර වගේ නෙවෙයි තත්ත්පර ගාණක් ඇතුළත දී රටේ මතවාදය වෙනස් කරන්න සමාජ මාධ්‍යයට පුළුවන්. ඒ නිසා පොලිසිය කරන හොඳ වැඩ කියන්න සමාජ මාධ්‍ය ඔස්සේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. එහෙම නොවුණොත් පොලිසියට විරුද්ධව ආපහු රැල්ලක් හැදේවී. ⁣සාමාජ මාධ්‍ය ඔස්සේ පොලිසියට ගහන අය අල්ල ගත්තොත් අපිට අවශ්‍ය විස්තර ගන්න පුළුවන්.

ළමා අපරාධ, කුඩුකාරයන්, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කතා කළොත් අපේ මන්ත්‍රීවරුන් වුණත් අත්අඩංගුවට ගන්න ඕන. දේශපාලනඥයින් කිව්වා කියල වැරදි වැඩ කරන්න එපා. හැම තිස්සෙ ම තමන්ගෙ ගෞරවය හා අභිමානය ආරක්ෂා වෙන විදියට වැඩ කරන්න. වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව පොලිසියට නිසි ගෞරවය ලබා දුන්නා. මේ නිසා දැන් පොලිසිය යාවත්කාලීන වෙමින් තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස