සපුගස්කන්ද වැහීමෙන් ඩොලර් අර්බුදය තවත් උග්‍ර අතට…! පිරිපහදු කළ ඉන්ධන බැරලයකට වැඩිපුර ඩොලර් 15ක් ගෙවන්න වෙයි…!

November 16, 2021 at 7:25 am | by emanisa.lk

සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණයෙන් නවතා දැමීම නිසා මෙරටට ගෙන එනු ලබන අමතර පෙට‍්‍රල් හා ඞීසල් සෑම බැරලයකටම අමතරව ඩොලර් 15ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවීමෙන් රට තුළ ඇති වී තිබෙන ඩොලර් හිඟය තවත් උග‍්‍ර අතට හැරෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් මෙරටට අවශ්‍ය ඉන්ධනවලින් සියයට තිහක පමණ ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ අතර බොර තෙල් ගෙන්වීම නතරවීමත් සමග වසර තිස් හතකට පසු සපුගස්කන්ද පිරිපහදුව ඉබේම නතර වූ බව ද හෙතෙම කීය.

මේ වන විටත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඩොලර් හිඟය නිසා බරපතළ අවුලක් නිර්මාණය වී තිබෙන බවත් පරිප්පු, කිරිපිටි, තිරිඟු පිටි පමණක් නොව සිමෙන්ති, ගෑස් ආදී කී නොකී බොහෝ දේවල්වල හිඟය සියයට තිහකින් ඉහළ යනු ඇතැයි ද ආනන්ද පාලිත කීය.

මෙරට පිරිපහදුව නතරවීමෙන් පසු පිරිපහදු කළ පෙට‍්‍රල්, ඩීසල් ගෙන්වීමේදී එක්තරා පිරිසකට කොමිස් මුදල් ලැබෙන බවත් ඒ කිහිපදෙනා හැර මුළු රටේම ජනතාව ද ඉදිරි සති දෙක තුළ බරපතළ ප‍්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් ආනන්ද පාලිත සඳහන් කළේය.

මේ වන විට රටේ කර්මාන්තශාලාවලට අවශ්‍ය දැවි තෙල් හිඟයක්ද නිර්මාණය වන බවත් ඒ අනුව කොරෝනා වසංගතය නිසා රටේ කර්මාන්තශාලා වැසුණු ආකාරයට කර්මාන්තශාලාවල කටයුතු නතරවී යෑමේ අවදානමක් ද මතුවී ඇතැයි ද ඔහු පැවසීය.

රට තුළ මතුව තිබෙන ගෑස් හිඟය නිසා භූමිතෙල් පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ද ගෑස් හිඟය ඇතිවීමට පෙර දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 500ක් පමණ අවශ්‍ය වුවත් මේ වන විට දිනකට මෙට්‍රික් ටොන් 650ක් දක්වා භූමිතෙල් ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

මේ වන විට දෛනි ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 5000ක් පමණ වන අතර පෙට‍්‍රල් පරිභෝජනය මෙට්‍රි‍ක් ටොන් 3500කි. මේ තත්ත්වය හමුවේ පිරිපහදු කළ ඉන්ධන මිල දී ගැනීම සඳහා සෑම බැරල් එකකටම ඩොලර් 15ක මුදලක් වැඩිපුර ගෙවීමෙන් ඩොලර් අර්බුදය උත්සන්න වී පෝලිම් යුගයක් යළි නිර්මාණයවීම සහතික යැයි ද ආනන්ද පාලිත වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස