අරක්කු කොම්පැනිකරුවන් සිගරට් කොම්පැනිකරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබාදී අයවිය යුතු බදු පැහැර හැර සතුටින් ගෙදර යන විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුල පුරන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. සිය ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩුවෙනවාට තමා බිය නොවන බවත් ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.
මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගත යුතු බවත් තව දුරටත් මේ විනාශය දිහා බලන් නිද්‍රාශීලීව සිටිය නොහැකි බවත් දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවත් හෙතෙම කීය.
තව ද දුම්වැටි මත්පැන් හා ගංජා ප්‍රවර්ධනය කරන්නේ රටේ මිනිසුන්ගේ සිහිය විකල් කිරීමට බවත් එසේ ගංජා වැනි දරුණු ප්‍රවර්ධනය කරන සමහර පුද්ගලයන් ගංජ පානය කළ අය මෙන් සිහිවිකල්ව කටයුතු කළ ආකාරය දැක ගැනීමට හැකි බවත් ඔවුන් කිසිම අවස්ථාවක රටේ දරු පරපුර ගැන සිතන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.