ශ්‍රී ලංකාව හිර කරන්න සුමන්දිරන්ලා ජිනීවා යති…!

September 18, 2022 at 9:21 am | by emanisa.lk

මෙරට සිදුවූ බව කියන යුද්ධ අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේ ගැටලුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමේ නිර්දේශයක් මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන දැඩි ප්‍රයත්නයක නිරත වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් හා සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ අනුව, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හා ටෙලෝ මාධ්‍ය ප්‍රකාශක කුරුස්වාමි සුරේන්දිරන් ජිනීවා නුවරට ගොස් ඇති අතර ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් හා සාකච්ඡා ආරම්භ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව බ්‍රිරතාන්‍යයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව මේ වන විට සකස් කිරීම ආරම්භ කර ඇති බවත් එයට ඉහත කී නිර්දේශය ඇතුළත් කර ගැනීම වෙනුවෙන් උපරිම උත්සාහ දරන බවත් කුරුස්වාමි සුරේන්දිරන් පවසා තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැසිය ආරම්භයේදී ම වැඩබලන මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් යොමුකරනු ලැබූ යෝජනා කිහිපයක්ම ඇතුළත්ව තිබූ නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් යොමුකළ යෝජනාව ඇතුළත්ව නොතිබුණු බව සුරේන්දිරන් පෙන්වා දුන්නේ ය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ට ලැබුණු විශේෂ ආරාධනාවක් මත ඔහු ජිනීවා නුවරට ගිය බව හෙතෙම ප්‍රකාශ කර තිබුණු අතර ඔහු ඉකුත්දා (15) සිට එම කවුන්සිලයේ සාමාජික රටවල් හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡා ආරම්භ කර තිබිණි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවම් අඩෙක්කලනාදන් ද ඉදිරි දින කිහිපයේදි ජිනීවා බලා පිටත්වීමට නියමිත බව පැවසුවේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් ශක්තිමත් යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් එයට එම කවුන්සිලයේ සියලු සාමාජික රටවල සහාය ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *