ශ්‍රී ලංකාව අධි-උද්ධමන අනතුරක…! ජුනි උද්ධමනය 55%යි… ආහාර උද්ධමනය 80% පනී…!

July 1, 2022 at 7:57 pm | by emanisa.lk

බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ අසත්‍ය කරමින් ශ්‍රී ලංකාවේ ජුනි මස මෙරට උද්ධමනය සියයට 54.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අධි-උද්ධමන තත්ත්වයක් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ දත්ත උපුටා දක්වමින් ජුනි මස උද්ධමනය සියයට 43.7 වේ යැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මීට පෙර සඳහන් කළේය. බොහෝ ආර්ථික විද්‍යාඥයන් අධි උද්ධමන සීමාව ලෙස හඳුන්වන සියයට 50 සීමාව ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් පසුකර ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ සියයට 39.1 ක් වූ අතර එය ජුනි මස සියයට 54.6 දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම මිල ගණන් හි සිදුවූ මාසික ඉහළ යෑම බලපෑ බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

ශ්‍රී ලංකාවේ මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය වූ සියයට 57.4 ජුනි මාසයේදී සියයට 80.1 දක්වා ඉහළ ගොස් ඇත. මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මස සියයට 30.6 ක් වූ අතර එය ජුනි මාසයේදී සියයට 42.4 ලෙස සටහන් විය.

ආනයනය කිරීමට විදෙස් සංචිත නොමැතිවීම නිසා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *