වෛද්‍යවරුන්ට රෝහලට එන්න පෙට්‍රල් නෑ..! රෝහල් සතියකින් වහන්න වෙයි…!

March 19, 2022 at 3:52 am | by emanisa.lk

ඉන්ධන හිගය, ගෑස් අර්බුදය, ඖෂධ හිගය තව දුරටත් පැවතියහොත් ඉදිරි සතිය ඇතුළත බොහෝ රෝහල් වසා දැමීමට සිදුවන බවයි, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ.

ඉන්ධන හිගය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති අතර සේවයට වාර්තා කරන පුද්ගලයන්ගේ දෛනික සේවාද අඩපන වී තිබේ.

මීට අමතරව ඉන්ධන හා ගෑස් හිගය හේතුවෙන් මේ වනවිටත් ඇතැම් රෝහල්වල ආපන ශාලා වසා දැමීමට සිදුව තිබේ. රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම දැඩි ගැටලුවක් වී ඇති බවයි, වෛද්‍ය බෙල්ලන සඳහන් කරන්නේ.

මෙම සියලු අර්බුදවලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ ‍‌දෙන බරපතලම ගැටලුව වී තිබෙන්නේ ඖෂධ හිගය බවත් ඇතැම් රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ පවා හිග වී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙම අර්බුද තවදුරටත් වර්ධනය වුවහොත් තවත් සතියක් ඇතුළත බොහෝ රෝහල් වසා දැමීමට සිදුව ඇති බවට බෙල්ලන මහතා අනතුරු අඟවනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *