මේ වන විට ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම්වල ඇති භාණ්ඩ සාමාන්‍ය ජනතාව අනතුරු ඇඟවීම් ද නොතකා නිවෙස් වෙත රැගෙන යාම පිළිබඳ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.
පොදු ජනයා මෙහෙම තමයි!!!
================
1987 ජූලි ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ උද්ඝෝෂණ අවස්ථාවේ රාජ්‍යයට අයත් විවිධ තැන්වලට පහර දීම් සිදුවිය. ඒ එක් තැනක් නම් කටුබැද්දේ පිහිටි ස්කාගාර සංස්ථාවේ විශාල ගබඩාවකි.
එදා අවට සිටියවුන්ට රජ මගුල්ය. වෙඩි තබන බවට පොලීසිය කල අවවාද නොතකා බෝතල් ඩැහැගැනීමට ජනයා පොරකෑහ. ඇතැමුන් එතනම හොඳ හැටි සප්පායම් වී වැතිරී සිටියහ. වෙනෙකක් තබා මමත් බෝතල් දෙකක් ඉනේ ගසාගෙන ගියෙමි.
කොලොන්නාවේ තෙල් ටැංකි වලට කොටි ගැසූ අවස්ථාවේද එසේමය. එහිදී නම් කානුවල ගලාගිය තෙල් එකතු කිරීමට කාගෙන්වත් බාධාවක් නොවීය. එය තෙල් එකතු කළ වුන්ට ලැබුණු ආර්ථික වාසියට අමතරව පරිසර හිතකාමී වැඩක්ද විය. මේ අවස්ථා මෙනෙහි කරන විට මට මතක් වන්නේ අපේ තාත්ත කියන කතාවකි.
තාත්තා ගොස් ඇත්තේ අතත්නගල්ල ප්‍රදේශයේ ඕගොඩපොල ඉස්කෝලෙටය. ඒ කාලේ පාසැල අසලින් වාහනයක් ගමන්කරන්නේ කලාතුරකිනි. කිසියම් දවසක ඈතින් වාහනයක සද්දයක් ඇසුනොත් ගුරුවරු එළියට බැස අත්වැල් අල්ලාගෙන සිටින්නේ සිසුන් පාරට දිවීම නතර කිරීමටය.
නමුත් එය අසාර්ථක උත්සාහයකි. සිසුන් ගුරුවරු පෙරළාගෙන පාරට ගොස් කාර්එක පාසැල පසුකොට යන තෙක් සිට කාර් එකෙන් පිටවන පෙට්‍රල් ගද ද හොදින් හොඳින් රස විඳ, පාරේ මඩ ගොඩවල් උඩින් ටයර් ගමන් කළ විට හැදෙන මැටි කට්ටා ද මතක සටහන් ලෙස අහුලා ගෙන සිසු පිරිස ආපසු පාසැල තුළට එන බව තාත්තා කියයි. පොදු ජනයා තාමත් එහෙමය.