නාවික ගුවන් හමුදා ලොව ම මවිත කරමින් තෙල් නැවේ ගින්න නිමයි! ඉතිහාසයේ විශාලතම පරිසර විනාශය නූලෙන් වළකයි!

September 5, 2020 at 7:40 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට නැගෙනහිර සංගමන්කන්ද ආසන්න මුහුදේ දී ගිනි ගැනිමට ලක් වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පැතිරිම මේ වන විට පාලනය කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ, නෞකාවේ හටගත් ගින්න බොහෝ දුරට පාලනය කර ඇති බවය.

නෞකාව ශ්‍රී ලංකා වෙරළ දෙසට ගසාගෙන ඒම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති අතර ගැඹුරු මුහුද දෙසට නෞකාව ඇදගෙන යමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකින් ඊයේ (04) පස්වරු 07.00 පමණ වන විට “නිව් ඩයමන්ඩ්” නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය තහවුරු කර තිබේ.

ඔවුන්ගේ ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මේ බව සඳහන් කර තිබුණි.

“නිව් ඩයමන්ඩ්” නෞකාව අම්පාර සංගමන්කන්දට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී පසුගිය 03 වන දින පෙරවරුවේ ගිනි ගැනිමට ලක්විය.

නෞකාවේ බොයිලේරුවක සිදු වූ පිපිරීමකින් මෙම ගින්න හටගෙන තිබූ අතර නෞකාවේ කාර්ය මණ්ඩලය 23 දෙනාගෙන් 22 දෙනෙකු බේරාගැනිමට නාවික හමුදාව සමත් වූ අතර ගින්නට හසුවිමෙන් එක් නැවියෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

කුවේට් හි සිට බොරතෙල් ටොන් 270,000ක් දහසක පමණ ප්‍රමාණයක් ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව පැනමා රාජ්‍යයට අයත් වූවකි.

ගින්න මැඩපැවැත්විම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කළ අතර ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ සහ ඉන්දීය නාවික හමුදාවේ සහය ද ඒ සඳහා හිමිව තිබුණි.

මෙම නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (05) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහන්ඳපුර සඳහන් කළාය.

කෙසේවෙතත් නෞකාවේ ඉන්ධන හුවමාරු කිරිම මෙරට මුහුදු සීමාව තුළ සිදු කිරීමට අවසර ලබා නොදෙන බව ඇය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස