විෂ රසායනික පොහොර තහනම මේ යුගයේ සිදුකළ මහා පිංකමයි….! – ඕමල්පේ සෝභිත හිමි….

May 14, 2021 at 11:19 pm | by emanisa.lk

විෂ සහිත කෘෂි රසායන භාවිතය තහනම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය මේ යුගයේ කළ මහා පිංකම යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඇඹිලිපිටිය හිඟුරආර ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

“ජීවත්වීම මනුස්සයාට මෙන් ම සියලු සතුන්ට ද අතිශයින් ම වැදගත් වූ කාරණයයි. මිනිසුන්ගේ මෙන් ම සතුන්ගේද ජීවිතවලට බරපතළ ම තර්ජනය එල්ල වුණේ විෂ රසායනික පොහොර සහ කෘෂි රසායනික භාවිතයයි.

මේ මහා වස බීමෙන් කෑමෙන් සහ කැවීමෙන් පාප කර්මය සිදුකළේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවයි. මෙම මහා පාප කර්මය නැවැත්වීම සඳහා ගතයුතු හොඳම පියවර තමයි විෂ සහිත කෘෂි රසායන භාවිතය තහනම් කිරීම. මේ සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථීර වූ ඵලදායි වූ තීරණයක් ගැනීම ජාතියේ ම වාසනාවට හේතුවෙනවා.

මේ අනතුර පිළිබඳ අපේ මහජන සංවිධාන, පාරිසරික සංවිධාන ඇතුළු රට වැසි ජනතාව දශක කිහිපයක් තිස්සේම පෙන්වා දුන්නත් එයට නිසි අවධානයක් යොමු වුණේ නෑ. එයට හේතුව බොහෝ දේශපාලනඥයන් කෘෂි රසායනික සමාගම්වල වහලුන් වීමයි.

මෙවැනි පසුබිමක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් එඩිතර තීරණයට අපේ ස්තුතිය පළ කරනවා. ඉදිරියේදී අදාළ තීරණයට පැමිණිය හැකි බාධා සහ කකුලෙන් ඇදීම් ආදිය හමුවේ පසුබට නොවී මේ එඩිතර තීරණය සාර්ථක කර ගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු වේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස