විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඊට අදාළ යෝජනාව මේ වන විට කොරෝනා පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත යොමුකර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමග පෙරේදා (23) පැවැති සාකච්ජාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව සියය දක්වා සීමා කර තිබූ අතර සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි.
විවාහ මංගල උත්සවයකදී උත්සව ශාලා හිමියන්ට දැරීමට සිදුවන පිරිවැය සමග බරපතළ පාඩුවක් සිදුවන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය නිසා ආහාර පාන සපයන්නන්, වීඩියෝ හා කැමරා ශිල්පීන්, අෂ්ටක කියවන්නන්, මඟුල් බෙරකරුවන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවද එම සංගම් නියෝජිතයෝ ඇමැතිවරයාට පෙන්වා දුන්හ.