විදෙස් සංචාරකයින්ට නව මාර්ගෝපදේශ…! PCR 02ක් අනිවාර්යයි…! කලාප 14ක බුබුලු සංචාරයට ඉඩ…!

January 7, 2021 at 3:21 pm | by emanisa.lk

මෙ රටට පැමිණෙන සියලු‍ම සංචාරකයින් තමන් ගේ ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර පීසීආර් පරීක්ෂණයක් සිදුකර කොවිඞ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්ය කරමින් විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේ නිකුත් කොට ඇත.

එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේ දී යළිත් වරක් පීසීආර් පරීක්ෂණයකට ලක්කෙරෙන අතර ඔවුන් සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට හැකිය.

එසේම මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ කොවිඞ් පරීක්ෂණයේ දී ඔවුන් කොවිඞ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ආරක්‍ෂිත බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමිවේ.

මෙම දින 14 කාල සිමාව තුළදී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයන් තුළින් පිටතට යාමට අවසරය හිමි නොවේ.

කොවිඞ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇති සංචාරක කලාප 14 තුළ පමණක් ආරක්‍ෂිත බුබුලක් ලෙස මෙම විදේශිකයින්ට සංචාරය කිරිමට අවසරය හිමිවන අතර ඒ ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා මත පදනම්වය.

ගුවන් යානා වලින් පැමිණෙන සංචාරකයින් වෙනත් සංචාරකයින් සමග මිශ්‍ර විමට ඉඩ නොදීමට අදාළ සංචාරකයින් රැගෙන එනු ලබන සමාගම් විසින් කටයුතු කළ යුතුව ඇති අතර ඔවුන්ගේ නවාතැන් ගන්නා හෝටල්, ප්‍රවාහන පහසුකම් ආදිය සැපයීමද මෙම ක්‍රමවේදය අනුව සිදුකළ යුතුය.

ඊට අමතරව සංචාරක මණ්ඩලය විසින් විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් ඊට සුදුසු ද යන්න සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිම සිදුකළ යුතුවේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස