විදුලි අර්බුදයෙන් රට ම ඇන හිටී..! පැය 12ක විදුලි කප්පාදුවක්..!

September 23, 2022 at 7:42 am | by emanisa.lk

විදුලි ජනනය සඳහා අද හෙට ම ගල්අඟුරු ආනයනය නොකළ හොත් පැය 10 ක හෝ 12 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඊයේ (22) පස්වරුවේ සභාපතිවරයා මේ බව පැවසීය.

රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙට්‍රික්ටොන් 250,000 ක සංචිතය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් ප්‍රමාණවත් බව කී ජනක රත්නායක, නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු ටොන් 5000ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.

ගල්අඟුරු නොමැතිවුවහොත් මෙගාවොට් 900 ක විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන බවත් එය සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 35 ක් පමණ බවත් හෙතෙම කීය.

ගල්අඟුරු ටෙන්ඩරය අඩු ලන්සුව ඉදිරිපත් කළ ආයතනයට ප්‍රදානය කළත් ඒ පිළිබඳව වෙනත් ආයතනයක් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටීම නිසා ටෙන්ඩර ලැබූ සමාගම ගල්අඟුරු සැපයුම ප්‍රතික්ෂේප කිරීමෙන් තත්ත්වය බරපතළ වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *