ඉහළ දැමූ වැට් බද්දත් සමඟ ඖෂධ මිල 25%කින් පමණ ඉහළ යාමේ අවදානමක් ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ද ඖෂධ හා සෞඛ්‍ය උපකරණ මිල තුන් ගුණයකින් ඉහළ ගිය නිසා මෙසේ මේ වසරේ සිට ඖෂධ මිල සියයට විසිපහකින් ඉහළ යාම ජනතාවට කිසිසේත් දරා ගත නොහැකි අර්බුදයක් බවයි.
විශේෂයෙන් ම බෝ නොවන රෝග වන හෘදයාබාධ, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගීන් ලක්ෂ ගණනක් ඖෂධ ගැනීම අත්හැර ඇති අතර එය රටක් ලෙස බරපතළ ම තත්ත්වයක් බව හෙතෙම අනතුරු ඇඟවූයේ ය.
සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදනයෙන් සෞඛ්‍යයට 10%ක් පමණ වෙන් කළ ද එය ලංකාවේ සෑම වසරක ම වෙන් කරන්නේ 3%ක් හෝ උපරිමය 4%ක් පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
එම නිසා ඉහළ යන ජීවන වියදමත් සමග රෝගී වන ජනතාවට සෞඛ්‍ය සේවා ලබා ගැනීම ගැන හිතන්නවත් බැරි වසරක් බවට මේ වසර පත් වනු ඇති බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.