වස පොල්තෙල් ගෙන ආ සමාගම් සමූහ මිනීමරුවෝ….! වහාම ඒ සමාගම් බ්ලැක් ලිස්ට් කරනු….! – GMOA

April 3, 2021 at 9:35 am | by emanisa.lk

පිළිකාකාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ සමාගම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කර එම සමාගම අසාදු ලේඛනගත කිරීමට රජය වහා ම පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

අදාළ විෂ සහිත පොල්තෙල් ගෙන්වීම තුළින් එම සමාගම සමූහ මිනීමැරුමකට අරඇඳ ඇති බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉකුත් කාල සීමාවේ දී මෙරට පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් සහ බෝ නොවන රෝගයන්ගේ වැඩි වීමක් ද පෙන්නුම් කර ඇති නිසා අදාළ සමාගම් හරහා මෙරටට ගෙන්වූ ද්‍රව්‍යවලින් එයට බලපෑමක් සිදුව ඇත්දැයි දීර්ඝ ලෙස සොයා බැලීමට මෙරට සෞඛ්‍ය අංශ වෙතට රජය මේ මොහොතේ දැනුම් දීම් කළ යුතුව ඇතැයි ද කී වෛද්‍ය නවීන් ද සොයිසා තම සංගමය මේ පිළිබඳව මීට පෙර ද අනතුරු ඇඟවූ බව පැවසීය.

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය හේතුවෙන් වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝග, අක්මා රෝග, විකෘති දරුවන් ලැබීම සහ උපදින දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වර්ධනය බාලවීම ඇතුළු පරම්පරා ගණනාවකට බලපාන අතුරු ආබාධ ඇති විය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ මෙරට සෞඛ්‍ය විද්‍යාත්මක නියාමන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛය අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතු බවත් ආහාර සඳහා වන පනත හා නීති පද්ධතිය ද ශක්තිමත් කරමින් රටට වස විෂ ගෙනඑන සමාගම් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *