වර්ජනය නොකළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අගයන්න ආණ්ඩුව සූදානම්…!

March 16, 2023 at 4:05 pm | by emanisa.lk

වර්ජනයෙහි නිරත නොවෙමින් රෝගී ජීවිත ආරක්ෂා කරනු ලබන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්ය මණ්ඩලයට විශේෂ ඇගැයීමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වෙයෙි.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඊට අදාළ වෙත උපදෙස් ලබාදී තිබේ.

බරපතළ අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත වර්ජනයන්ට සහභාගී නොවී, උපරිම සේවාවක නිරත වෙන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලය ඇගයීමට සැලසුම් කර තිබේ.

සමස්ත සෞඛ්‍ය සේවාවේ කැපවීම තවදුරටත් අත්‍යවශ්‍ය මොහොතක, ඒ වෙනුවෙන් කැප වන සෑම දෙනාම ජාතියේ ප්‍රණාමයට ලක් වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව මේ වන විට බොහෝ වෘත්තීය සංගම් මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරත වන බවත් එම පිරිස දැඩි කැපවීමෙන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන බවත් ඇමැතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *