ලෙඩා මළත් බඩ සුද්දයි…! ඉංජිනේරු සංස්ථා ඉඩම විකුණා සේවක වැටුප් ගෙවයි…!

June 19, 2023 at 11:21 am | by emanisa.lk

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප්, හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් විකුණා දැමීමට නියමිත බව වාර්තා වේ.

එහි වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ වන බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන සඳහන් කරයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල පිහිටා තිබෙන ඉහළ නාගරික වටිනාකමකින් යුත් අක්කර 17 රූට් 2 පර්චස් 17ක වපසරියකින් යුක්ත ඉඩමක් මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇත.

රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු අඩපණව පැවතීම නිසා ආයතන වෙත ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බවත් ලබාගැනීමට හැකි වු මුදලින් මේ ආකාරයට වැටුපෙන් කොටසක් ගෙවීමට පියවර ගත් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

සිය කැමැත්තෙන් විශ්‍රාම යෑමට සුදානමින් සිටින සේවකයින් 1,100කට ගෙවීම සඳහා පමණක් රුපියල් මිලියන 2,600ක් පමණ අවශ්‍ය වන බව ද සඳහන් කළ සභාපතිවරයා ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ මහා පරිමාණයෙන් මුල්‍ය අක්‍රමිකතා සිදුවීම හා යහපාලන ආණ්ඩුව කාලයේ දී සීමාව ඉක්මවු සේවකයින් බඳවාගෙන තිබීම ද මෙම ආයතන පවත්වාගෙන යෑමට ගැටලුවක් බව ද පැවසීය.

“මේ ඉඩමේ වර්තමාන වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙනවා රුපියල් බිලියන 9 – 10ත් අතර ප්‍රමාණයක්. මේ ඉඩම කොළඹ නාගරික ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා ඉඩමක්. මෙහි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී ඉදිකෙරෙමින් තිබුණු දෙමහල් ගොඩනැගිල්ලකුත් තියෙනවා. නමුත් පසුගිය යහපාලන රජය සමයේ දී එහි ඉදිකිරීම් කටයුතු අතරමඟ වවතා දැමීම නිසා දැන් විනාශයට පත්වෙලා තියෙනවා. එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉදිකරලා තිබුණා නම් මේ ඉඩමේ වටිනාකම තවත් ඉහළ යනවා.

අපි මේ සඳහා දාපු කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමත කළත් වර්තමානයේ සිටින ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව අපට දන්වා සිටියා. මේ තත්ත්වය අපට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේ සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මැදිහත් වීමෙන් පසුව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ආයතනය මුදල් අමාත්‍යාංශය වෙත පවරා ගත්තා. එය ඉදිරි කටයුතු සඳහා ඉතාම පහසුවක් වේවි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *