ලංවීම ප්‍රතිව්‍යුහගත කළොත් සේවකයින් 11 200ක් ගෙදර…!

December 10, 2023 at 11:36 am | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නව සමාගම් දොළහක් ස්ථාපිත කොට විදුලිබල මණ්ඩලයේ සේවකයන් එකොළොස්දහස් දෙසීයකගේ පමණ රැකියා අහෝසි කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

2007 අංක 07 දරන සමාගම් පනත යටතේ විදුලිබල මණ්ඩලය ප්‍රධාන වශයෙන් සමාගම් දොළහයක් බවට පත්කිරීමත් සමග 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසිවීමත් සමගම මණ්ඩලය ද අහෝසි වී යනු ඇතැයි ද හෙතෙම කීය.

දැනට විදුලිබල මණ්ඩලයේ 24000ක පමණ පිරිසක් සේවය කරන අතර නව ක්‍රියාවලිය අනුව විදුලි උත්පාදන සමාගම් පහක්, බෙදාහැරීමේ සමාගම් පහක් සහ විදුලි සම්පේෂණ කටයුතු සඳහා සමාගම් දෙකක් ඇති වන බව ද රංජන් ජයලාල් පෙන්වා දෙයි.

මීට අමතරව මෙරට සුළං බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ අදානි වැනි සමාගම්වලට අවසර ලැබෙන බවත් නොරොච්චෝල ලක් විජය ගල්අඟුරු බලාගාරය චීනයට නතුවන බවත් ඔහු සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අයිති සේවක අර්ථ සාධක අරමුදලේ ඇති රුපියල් බිලියන අසූදෙකක මුදල ද මහා භාණ්ඩාගාරය යටතට ගැනීම සැලසුම වී ඇතැයි ද හෙතෙම කීය.

ඒ අනුව ආණ්ඩුව ගෙන යන මෙම තීරණය නැවැත්වීම සඳහා ජනතාව සමග එක්ව සටන් කරන බවත් ඊට අමතරව ඒ සඳහා ගත හැකි නෛතික ක්‍රියාමාර්ගවලට යොමුවීමට සියලු වෘත්තීය සමිති සමග සන්ධානගත වන බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *