ලංකාව අපරාධ ලිපි ගොනු යොමුකර නෑ…! ඩුබායි පොලිසිය හරක් කටා මුදා හරී…! නීතීඥයින් 05ක් හරක් කටා වෙනුවෙන් ඩුබායි ගිහින්..!

October 5, 2022 at 9:15 am | by emanisa.lk

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටි නමගිය පාතාල කායකයෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා පසුගිය 3 වනදා මුදාහැර ඇතැයි එරටින් ලැබෙන තොරතුරු වාර්තා කරයි.

ඔහුට එරෙහි අපරාධ සම්බන්ධ ලිපි ගොනුව නිසි කලට මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් නොකිරීම මෙම තීන්දුවට හේතුවී තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු තව දුරටත් එරට පොලිසියේ රඳවා ගැනීමට නම් ඩුබායි වෙත යොමු කළ යුතු අත්‍යවශ්‍ය ලිපි ගොනු තිහිපයක් තිබූ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමාදය හෝ කිසියම් කඩාකප්පල් කටයුත්තක් නිසා අදාළ ලිපි ගොනු එරටට යොමු කිරීම සිදුව නැතැයි වාර්තා විය.

හරක් කටාව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගන්නේ අගෝස්තු 11 වැනිදා ඩුබායි සිට මලයාසියාව බලා යෑමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීය. ඒ ජාත්‍යන්තර පොලිසිය මඟින් ඔහුට එරෙහිව නිකුත් කර තිබුණු රතු වරෙන්තුවකට අනුවය. එසේ ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු භාවිත කරමින් සිටියේ එම්. 6692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනුයේ පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් හරක් කටාගේ මත්කුඩු ජාලයට සම්බන්ධ හෙරොයින් ටොන් එකකට වඩා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවය. එවැනි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා විට ඒ හා සමාන හෝ ඊට වැඩි ප්‍රමාණයක් මත්කුඩු මෙරටට රැගෙනවිත් ඇති බව ද අනුමාන කෙරේ.

ඉකුත් මැයි 30 වැනිදා කොළඹ බැස්ටියන් මාවතේදී එල්ලවුණු වෙඩි ප්‍රහාරයත් සමඟ හිස එසවූ පාතාලයේ වෙඩි ප්‍රහාර රැසක්ම මෙහෙයවා තිබුණේ හරක් කටාය. හරක් කටාව ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාලයේ තැන තැන සිදු වූ වෙඩි ප්‍රහාරවල යම් අඩු වීමක් දක්නට ලැබුණු අතර මත්කුඩු හිඟයක් ද රට පුරා ඇති වී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) සවස ජාත්‍යන්තර පොලිස් ශාඛාව මඟින් කළ සොයා බැලීමකදී හරක් කටාව නිදහස් කර ඇති බව තහවුරු වී තිබේ. හරක් කටාව බේරා ගැනීම සඳහා ජනාධිපති නීතිඥවරයකු ප්‍රමුඛ නීතිඥවරුන් පස් දෙනකුගේ කණ්ඩායමක් ඉකුත් සතියේ එරටට ගොස් එරට රැඳී සිටිමින් දැඩි මෙහෙයුමක නිරත වී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල්වී බොහෝ වැඩ කොටසක් කළ ද ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රමාදය නිසා අදාළ ලේඛන නිසි පරිදි නිසි කලට එරට බලධාරීන් වෙත යොමු කර නොමැත. ඒ අනුව හරක් කටාව නිදහස් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *