රෝයල් පාර්ක් ඝාතකයාට සමාව ඉල්ලූ පිරිස මෙන්න…! පන්සලයි පල්ලියයි දෙක ම ගෑවෙයි…!

June 13, 2023 at 8:50 am | by emanisa.lk

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නැයි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් වාචිකව සහ හමුවී ඉල්ලා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (12) හෙළිවිය.

ඒ, රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේය.

ඒ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ පූජ්‍ය අතුරලියේ රතන, බද්දේගම සමිත, බලංගොඩ බුද්ධඝෝෂ, කොරපේවල පුඤ්ඤරතන යන හිමිවරුන් විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන්නැයි ඉල්ලා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී වාචිකව හා ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බව අදාළ ලිපියෙන් අනාවරණය වන බවය.

එමෙන්ම වරදකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ රදගුරුතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය එලෙස ඉල්ලීම් කර ඇති බවත් ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.

එවැනි ඉල්ලීමක් කිරීමට ඔවුන්ට ඇති නෛතික බලය කුමත්දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ මෙම ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබා ගැනීම හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් පවා සිදුකර නොමැති බවය.

මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් සිදුකර නොමැති බව අදාළ නෛතික ලේඛන පිරික්සීමේදී පෙනී යන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළ අතර එය අදහාගත නොහැකි ක්‍රියාවලියක් බව ද සඳහන් කළේය.

මෙහිදී විනිසුරු කෝදාගොඩ යළි ප්‍රශ්න කළේ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා නොමඟ යැවීමක් සිදුවී ඇත්ද යන්නය. ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියා සිටියේ නිලධාරීන් ජනාධිපතිවරයා යම් ප්‍රමාණයක නොමඟ හැරීමක් සිදුකර ඇති බව පෙනී යන බවය.

එමෙන්ම ජනාධිපති සමාව ප්‍රදානය කිරීම එවකට තිබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ හරහා සිදුවී ඇති බව ද ජනාධිපති නීතිඥ ජයවර්ධන අධිකරණය හමුවේ පෙන්වා දුනි. එම කමිටුව පිළිගත් නීතිමය විධිවිධානයන්ට අනුකූලව ස්ථාපිත කළ කමිටුවක් නොවන බවත් ඊට මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම එම කමිටුව සිය නිර්දේශ නිකුත් කිරීමේදී මෙම විත්තිකරුට මරණීය දඬුවම ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණයේදී සඳහන් පෙන්වා දුන්නේය.

එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා විවෘත අධිකරණයේ පෙන්වා දුන්නේ මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බවය. වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටලු සහගත බවද හෙතෙම ප්‍රකාශ කළේය.

අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර වැඩිදුර නඩු විභාගය මේ මස 20 වනදා තෙක් කල් තැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *