රාජ්‍ය ඒකාධිකාරය යටතේ තෙල් ගෑස් ගැටලුව විසඳන්න බෑ..! මේ ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන්නත් බෑ…!

June 26, 2022 at 10:46 pm | by emanisa.lk

මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්න විසඳීමට පුළුවන් වගක් නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

රටේ ආර්ථික ගැටළුව විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනකු කළ ඉල්ලීම පටලවා ගැනීම වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

ආචාර්ය ගොඩහේවා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පිරිසක් සමඟ පසුගියදා පැවති රැස්වීමකදීය.

රටේ ප්‍රශ්න ගැන අද අගමැතිවරයා, ඇමැතිවරුන් කිසිවකුත් කතා නොකරන බව පැවසූ ගොඩහේවා, ජනාධිපතිවරයාද බොහෝ කාලෙකින් ජාතිය අමතා නැතැයි ප්‍රකාශ කළේ‍ය.

මේ ආකාරයට ජනතා ප්‍රශ්න අමතක කරමින් කටයුතු කළහොත් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න යැයි පවසමින් නැවතත් ළඟදීම පාරට බසිනු ඇතැයිද ඔහු පැවසුවේය.

දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු වුවත් ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවකින් අවස්ථාව සැලසෙන බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනා දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් ඔහු කීවේය.

කෙසේ නමුත් අද පවතින ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් තියා අඩුම ගාණේ ආණ්ඩු පක්ෂයවත් හරියට නියෝජනය වෙනවා දැයි කියන ප්‍රශ්නය පවතින බවත් එකම ආසනයක් පවතින පක්ෂයක අයකුට අගමැතිකමදීම නිසා ඔහුට විරුද්ධව ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් මතු වීමට පටන් ගෙන ඇති බවත්  නාලක ගොඩහේවා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථිර බලයක් නොමැති මේ ආණ්ඩුව රට වෙනුවෙන් වැදගත් අසීරු තීරණ ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බව පැවසූ නාලක ගොඩහේවා රටක් පාලනය කරනවා කියන්නේ කොහෙන් හෝ ණයක් ලබාගෙන එදාවේල කළමනාකරණය කරන එක නොවේ යැයිද ප්‍රකාශ කළේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව වැනි පාඩු ලබන ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමට මේ කැබිනට් මණ්ඩලයට කිසි දිනක හැකියාවක් නොලැබෙන බවත් එසේ නොකර රජයේ වියදම් අඩු අඩු කර ගන්නේ කෙසේදැයි ප්‍රහේලිකාවක් බවත් ඔහු කීවේය.

ඉන්ධන, විදුලිය සහ ගෑස් හිඟයට සහ ඒවායේ අධික මිලට එකම විසඳුම ඒ ක්ෂේත්‍රවල රජයේ ඒකාධිකාරිය බිදීම බව පැවසූ හෙතෙම මේ කැබිනට් මණ්ඩලයට ඒ කිසිවක් කළ නොහැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස