අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද් කුමාර් මහතා බලහත්කාරයෙන් රැඳී සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නැවත වතු අධිකාරියට භාර දීමට නුවරඑළිය දිසා අධිකරණයේ නියෝග කර තිබේ.
ඊයේ (05) එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ පිස්කල් නිලධාරීන් විසින් එම නිවස වතු අධිකාරිවරයා වෙත භාර දී ඇත.
අරවින්ද් කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අවධියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද් කුමාර් මහතාට නිල නිවස වශයෙන් භාවිත කිරීමට මෙම නිවස ලබා දී තිබේ.
ඔහු එම වතුයායෙන් ඉවත් වීමෙන් පසු ඔහුට ලබා දී තිබූ නිල නිවස ආපසු වතු යායට භාර නොදී එම නිවස අලුත්වැඩියා කර එහි රැඳී සිටීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
නුවරඑළිය දිසා අධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් පැවති නඩුවේ තීන්දුවෙන් අරවින්ද් කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත් වන ලෙසට ලබා දුන් නියෝගයට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද ඔහුට එම නිවෙසින් ඉවත් වන ලෙසට නියෝග කර ඇත. අරවින්ද් කුමාර් මහතා අභියාචනාධිකරණයට ද අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, අභියාචනාධිකරණයෙන් ද එම තීන්දුව ම ලබා දී තිබිණි.
අරවින්ද් කුමාර් මහතා දේශපාලනයට පිවිසීමත් සමග දේශපාලන බලය භාවිත කරමින් එම නිල නිවෙසේ මෙතෙක් කාලයක් රැඳී සිටි බවයි හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය කියා සිටියේ ය.