තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට රජය තීරණය කර තිබේ. තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස රසායනික පොහොර භාවිතයට අවසර දීමට තීරණය වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් සෙනෙවිරත්න පෙන්වා දෙන්නේ කාබනික පොහොර ප්රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තිබෙන බවයි.
තේ වගාව සඳහා කාබනික පොහොර නොගැළපෙන බවත් කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න අඩු වී වතුකරයේ ජනතාවගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් ඇති වන බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම මෙම ගැටළුව වහාම විසඳුමක් ලබා නොදුනහොත් විදේශ විනිමය අහිමි වීමේ අවදානමක් ඇති බව ද ඔහු සඳහන් කළේය.