රනිල් කියන විදිහට නොකළොත් අපට IMF යන්න වෙන්නේ දණ ගා ගෙන…! – ගම්මන්පිල..

November 24, 2021 at 3:48 pm | by emanisa.lk

ප්‍රශ්නය:-ඩොලර් හිඟය පියවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගැනත් ආණ්ඩුවේ මත ගැටුම් ඇතිවෙලා?

පිළිතුර:- මාගේ මතය වන්නේ අපට ප්‍රමාණවත් මට්ටමින් ඩොලර් උපයා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නොමැති නම් ජනවාරි මාසයේ ලොකු අර්බුදයකට යනවා. 2022 වසරේ අපි ඩොලර් බිලියන 7ක් විදේශ ණය ගෙවීමට අවශ්‍යයි. ජනවාරි මාසයේදී පමණක් ඩොලර් බිලියන 15 ක් අවශ්‍යයි. ඒ නිසා ඒ මුදල හොයාගන්න බැරිවුණොත් අපි අසරණ වෙනවා.

දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් යන්නේ ඇවිදගෙන. අපට ඔවුන්ගේ කොන්දේසි ගැන කේවල් කරන්න පුළුවන්. හැබැයි ජනවාරි මාසෙදි අපි ගියොත් යන්න වෙන්නේ දණින් වැටිලා. ඔවුන් ඉදිරියේ කේවල් කරනවා වෙනුවට ඔවුන්ගේ කොන්දේසි බාර අරගෙන තමයි සහන ලබාගන්න වෙන්නේ.

ඒ නිසා මම අමාත්‍ය මණ්ඩලයට කිව්වේ මේ මූල්‍ය අර්බුදයෙන් ගොඩයෑමට මුදල් අමාත්‍යාංශයට වැඩපිළිවෙලක් තියෙනවා නම් හොඳයි. එහෙම නැතිනම් අපි වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි. ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ අපි අසරණ වෙලා දුර්වල වෙලා ඔවුන් ඉදිරියේ දණින් වැටීමටයි. ඒකේ ප්‍රතිඵල ඉතා භයානකයි කියලා.

ප්‍රශ්නය:-ඇමැති වාසුදේව නානායක්කාර කිව්වේ ‘නෑ අපි යන්නෙම නෑ’ කියලයි?

පිළිතුර:- නොයා හිටියට කමක් නෑ. අයිඑම්එෆ් එකේ සහයෝගය ලබා නොගෙන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අපට වැඩපිළිවෙලක් තියෙනවා නම්. එහෙම නම් ගොඩක් හොඳයි. වැඩපිළිවෙලක් නැතිව නිකම් බලාගෙන හිටියොත් නම් මීටත් වඩා අපි අසරණ වෙනවා.

ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- මුදල් ඇමැතිතුමා ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළේ නෑ. එතුමා අයිඑම්එෆ් එකෙන් ඉදිරිපත් විය හැකි කොන්දේසි පිළිබඳව සිහිපත් කළා.

ප්‍රශ්නය:-මොනවද ඒ කොන්දේසි?

පිළිතුර:- සහනාධාර කප්පාදු කරන්න වෙයි. රාජ්‍ය සේවය කුඩා කරන්න වේවි. රාජ්‍ය දේපොළ විකුණන්න වේවි. මේවා තමයි පැමිණිය හැකි කොන්දේසි. එතැනදී මම කිව්වේ ජනවාරි වෙනකම් හිටියොත් අපට ඔය කොන්දේසි ඉදිරිපිට දණ ගහන්න වේවි කියලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස