රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ආධාර තොගයක් මාතෘභූමිය ගේනවා…! – සජිත්…

September 7, 2024 at 2:00 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට ලබාදෙන ඡන්දය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමග එකට කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් යැයි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජනබලවේගය මිනුවන්ගොඩ සංවිධානය කළ ජන රැළියක් පසුගියදා (05) අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“බොහෝ දෙනෙක් දැනගෙන සිටි කරුණක් මේ වන විට හෙළි දරව් වෙලා. අනුර දිසානායක ජනාධිපතිවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස බව ඔහු ප්‍රකාශ කළා. කොළ අලි පැටව් සහ රතු අලි පැටව් අද එකට සිටින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් දිනන්න කිසිදු අවස්ථාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ඔවුන් ඡන්දය නාස්ති නොකර මේ රට ගොඩනගන්නට එම වරම සමගි ජන සන්ධානයට ප්‍රමුඛ අපගේ කණ්ඩායමට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ලබාදෙන ඡන්දය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක්. ඒ වගේම රාජ්‍ය මාධ්‍යවල අනුර දිසානායකට ලොකු අවකාශයක් ලබාදී තිබෙනවා. රනිල් අනුර ගිවිසුම අද සත්‍යයක් වෙලා තිබෙන බව එයින් පැහැදිලි වෙනවා.

ඔවුන් බයයි අපි මේ රට ගොඩගනී කියලා. ඔවුන් බයයි අපි මේ රට සංවර්ධනය කරයි කියලා. ඔවුන් බයයි මේ රටේ අපි නිවාස ඉදි කරයි කියලා. ඔවුන් බයයි රටේ නිෂ්පාදන කර්මාන්ත ඉදිකරයි කියලා. ඔවුන් බයයි රජයේ පාසල් සුහුරු පාසල් බවට අපි පත් කරයි කියලා. ඔවුන් බයයි රටේ සෞඛ්‍ය කෂේත්‍රය අපි ශක්තිමත් කරයි කියලා. ඔවුන් බයයි සමගි ජන සන්ධාන රජයක් තුළ මේ රටේ ලක්ෂ 220 රජ වෙන යුගය නිර්මාණය වෙනවාට. ඒ නිසා රනිල් අනුර ගිවිසුම ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා.

නමුත් රටේ ලක්ෂ 220 ක් ජනතාව අමනෝඥයින් නෙවෙයි. රටේ ජනතාව මෝඩයන් ලෙස හිතාගෙන තමයි රනිල්ගේ සහ අනුරගේ කණ්ඩායම් හැසිරෙන්නේ. රනිල්ගේ සහ අනුරගේ කූඨ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව රටේ සියලුම දෙනා දන්නවා. ඒ නිසා රට ගොඩගන්න අවශ්‍ය ශක්තිමත් ජනවරම බය නැතිව අපට ලබාදෙන්න මේ රට අපි අනිවාර්යෙන් ගොඩගන්න කටයුතු කරනවා.

බංකොලොත්වුණ රටක් ගොඩගන්න විශාල සංවර්ධනයක් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත යුතුයි. මේ රටේ වසර 76 ක් සේවාවන් සිදුවුණේ රාජ්‍ය බලයත් සමඟයි. කවුරුත් විපක්ෂයේ සිටිමින් රටට වැඩක් කරලා නෑ. නමුත් බලයක් නොමැතිව රටට වැඩක් කරලා අපි ඔප්පු කරලා තිබෙනවා. රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ගොඩනගන්න අපි මිලියන 1000 ක වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කර තිබෙනවා.

ඒ නිසා අපි අපේ ජනවරම ලබාගෙන රටේ ජනතාව අපිට ලබාදෙන තාවකාලික භාරකාරත්වය ලබාගෙන රට ගොඩගනියි කියලා අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ බයයි. රට ගොඩනගන අපේ යෝජනාවලට ඔවුන් සිදුකරන්නේ විහිළු කරන එකයි. 2019 දීත් විහිළු කළා. නමුත් ඒ විහිළුවෙන් රට බංකොලොත්භාවයට පත් වුණා. වර්තමාන රජයත්, ජනතා විමුක්ති පෙරමුණත් ක්‍රියාත්මක කරන බොරුවට ජනතාව රැවටෙන්න එපා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට හෝ අනුර දිසානායක මහත්තයාට හීනෙකින් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් මගේ කණ්ඩායම සමඟ මගේ මාතෘ භූමියට රැගෙන එනවා. ඒ රැගෙන එන්නේ ණය නෙවෙයි ආධාර. ඒ තුළින් රටේ නිවාස හදන්න, රටේ නිෂ්පාදන කර්මාන්තශාලා නිර්මාණය කරන්න, අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා බිහි කරන්න අපි කටයුතු කරනවා.

රනිල් අනුර සන්ධානයට කතිරය ගහලා ඡන්ද අපතේ යවන්න එපා. රනිල් අනුර සන්ධානය දැන් ලියාපදිංචි වෙලා තිබෙන්නේ. රනිල් අනුර සන්ධානය පරාජය කරලා ලක්ෂ 220 ක් රටේ ජනතාව දිනවන්න සමගි ජන සන්ධානය ජයග්‍රහනය කරවන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *