රතන හිමිගේ සටනට පූර්ණ සහාය දෙනවා! – රිෂාඩ් කිසි වරදක් කර නැතැයි කියූ රංජා කියයි!….

June 1, 2019 at 8:34 am | by admin

ඇමැති රිෂාඩ් බදුර්දීන් සහ ආණ්‌ඩුකාරවරුන් වන අසාද් සාලි, ඒ. එල්. එම්. හිස්‌බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව ඇති පැහැදිලි චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වහා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට තමන් පූර්ණ සහයෝගය දක්‌වන බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පවසයි.

අතුරලියේ රතන හිමියන්ගේ මෙම පියවර පූර්ව ප්‍රචාරයක්‌ සහ යහපත් පූර්වාදර්ශයක්‌ කර ගනිමින් රට තුළ ඉහළම තනතුරුවල සිටින අනෙකුත් දූෂිත පුද්ගල චරිත රට ඉදිරියේ හෙළිදරව් කිරීමට තමන් උන්වහන්සේට ඉදිරියේදී ද සහාය දක්‌වන බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කර ගැනීමේ සටනේදී පුරෝගාමී මෙහෙවරක යෙදුණු අතුරලියේ රතන හිමියන්ට මෙවැනි පැහැදිලි චෝදනා ලැබූ ඕනෑම පුද්ගලයකුට එරෙහිව පෙනී සිටීමේ අයිතිය ඇති බව තමා තරයේ විශ්වාස කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙමින් ඉඩම්, දේපළ, මුදල් සහ ආරක්‍ෂාවද සැපයූ මෙරට ඉහළම නායකයන් පිළිබඳව තොරතුරු සාක්‍ෂි ඇතිව නම් ගම් සහිතව රටට හෙළිදරව් කිරීමටත් එම තොරතුරු රතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ලබාදීමටත් තමන් ඉදිරියේදී ක්‍රියාකරන බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස