කොරෝනාවලට බෙහෙතක් එන තුරු රට වසා තබන්න බෑ! සෞඛ්‍ය උපදෙස් අනුව එදිනෙදා වැඩ කරන්න සූදානම් වන්න! – ජනපති

November 4, 2020 at 11:22 pm | by emanisa.lk

කොරෝනා වෛරසය සඳහා බෙහෙතක් සොයා ගන්නා තුරු රට වසා තැබීම ප්‍රායෝගික නොවන බව ජනාධිපතිත ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේ ය.

කොවිඩ් කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ජනාධිපතිතුමාට පැහැදිළි කළේ ය.

ජනතාව වගකීමෙන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකිය. ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට සූදානම් විය යුතු බව ද පැවසීය. වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.

ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස