රට ම බියගම වගේ කර්මාන්ත පුරයක් කරනවා…! – ජනපති..

September 7, 2023 at 11:41 am | by emanisa.lk

රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන මෙම වැඩපිළිවෙළ දියත් කරන බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එදා නොදියුණු ප්‍රදේශයක්වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (06) පස්වරුවේ එක් වෙමිනි.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයින්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

අපේ රටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්වී ඇති බවත්, රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදු කළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *