රට බේරගන්න මැතිසබේ බහුතර සහාය මට ලැබෙනවා..! – ජනපති…

November 15, 2023 at 2:11 pm | by emanisa.lk

රට අර්බුදයෙන් ගොඩගැනීම සඳහා තමා අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙළට පාර්ලිමේන්තුවේ බහුතර සහය ලැබෙමින් පවතින නිසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමේ දේශපාලන විසඳුමකට යාම මේ අවස්ථාවේ දී අවශ්‍ය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (14) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීනගේ හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2024 අයවැය විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙන් ම ඊට පෙර අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ සහාය ඉල්ලා ඇති බවත්, ඉදිරියේ ශක්තිමත් පාර්ලිමේන්තුව පිහිටුවා ගැනීම සඳහා යම් දේශපාලන ක්‍රියාමාර්ගයකට යාමට අදහස් කරනවා ද එසේ නම් ඒ කෙබඳු විසඳුමක්දැයි මෙහිදී කර්තෘවරු ප්‍රශ්න කළහ.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, දැනටත් සහය ලැබෙමින් පවතින තත්ත්වය උඩ කටයුතු ඉදිරියට ගෙන යනවා විනා වෙනත් විසඳුමක් මේ අවස්ථාවේ ජනතාව ද අපේක්ෂා නොකරන බව ය.

රට අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා දැනට ජනතාව හමුවේ තබා ඇති 2024 අයවැයට වඩා හොඳ ක්‍රමවේදයක් විපක්ෂය සතුව තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් ඒ ගැන සැලකිල්ල යොමු කිරීමට තමා සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්බන්ධයෙන් විපක්ෂයේ බොහෝ දෙනෙකු පෞද්ගලිකව තමාට සුබ පැතූ නමුත් ඉදිරියට ඔවුන් කුමක් කරයි ද යන්න නොදන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා විරුද්ධ පක්ෂවල සියල්ලන්ගේ සහය මෙන් ම ජනතාවගේ සහය ද තමාට ලැබෙන බව විශ්වාස බව ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *