රට පුරා ම පතල් කපන්න පුළුවන් ද සොයා බලනවා..! – ජනපති…

March 18, 2024 at 10:12 am | by emanisa.lk

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටළු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ද හෙතෙම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ඉකුත් (15)දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට මැණික් කර්මාන්තය ආශ්‍රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බවද සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *