රට නොවසා ඩෙල්ටා පාලනය කරන්න පුළුවන්…! සටනට ජනතා සහාය අත්‍යවශ්‍යයි….! වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරණගෙන් යෝජනාවලියක්…

August 13, 2021 at 1:29 pm | by emanisa.lk

රට නොවසා දැඩි සංචරණ සීමා පැනවීමෙන් ඩෙල්ටා සැර කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම පාලනය කළ හැකි යැයි වෛරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

වෛරසය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් නිවෙස්වල රැඳවීමට කටයුතු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වෛරසය වායුගෝලයෙන් පැතිරෙන බවට සමහරුන් මත පළ කර තිබෙන බව පැවසූ මහාචාර්ය විතාරණ එම වෛරසය වායුගෝලය ඔස්සේ දුර පැතිරෙන එකක් ලෙස නොසලකන බව ද පැවසුවේය.

කොවිඩ් වෛරසය පැතිරෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට බවත් වෛරසයකට සජීවී උපස්තරයක මිස බාහිර පරිසරයේ වර්ධනය විය නොහැකි බවත් තනි වෛරසයකට ද ගමන් කළ හැක්කේ ඉතා ම කෙටි දුරක් බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

වෛරසය වායුගෝලයෙන් පැතිරෙනවා නම් එය සියලු දෙනාට ම වැළඳෙන බවත් ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ඉදිරියේ දී තවත් වෙනස්කම්වලට භාජනය වී දරුණු ප්‍රභේද නිර්මාණය වීමට ඉඩ ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේය.

රට සම්පූර්ණයෙන්ම වැසුවහොත් ජනතාවට කෑම අහේනියක් මතුවීම වැළැක්විය නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය. මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑම, දෑත් සබන් යොදා සේදීම, එක්රොක්වීම වැළකීම යනාදි ක්‍රියාමාර්ගවලින් වෛරසය තම තමන්ගේ තමන්ගේ ශරීරවලට ඇතුළු වීම වළක්වා ගත හැකි බවත් මේ අවස්ථාවේදී ජනතාවගේ සහයෝගය ඉතාම වැදගත් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

කොවිඩවලින් ආරක්ෂාවීම සඳහා විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කර ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළ යුතු බව ද මහාචාර්ය තිස්ස විතාරණ පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස