රට ඉදිරියේ භයංකර ඩෙල්ටා බෝම්බයක්…! ජනතාව පරිස්සම් නොවුණොත් ඉන්දියාව වගේ පුපුරා යයි…! – ඇමැති චන්න….

August 9, 2021 at 3:42 pm | by emanisa.lk

මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර ඩෙල්ටා බෝම්බයක් බවත් ජනතාව පරිස්සම්කාරී නොවුණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මෙම ඩෙල්ටා බෝම්බය ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ පුපුරා ගිය බව ද හෙතෙම සඳහන් කළේය.

එම බෝම්බයේ විනාශය අත්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය පවතින්නේ ජනතාව අත බවත් ජනතාව සංචරණ සීමා කර සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් එම බෝම්බය තමන්ගේ නිවෙස්වලට ද පැමිණිය හැකි බවත් ඔහු අනතුරු ඇඟවූයේය.

කොවිඩ්වලින් මරණ වළක්වා ගැනීමට නම් වහාම කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

ජනතාව කුමන හෝ එන්නතක් ලබා ගත යුතු බවත් එන්නත් ලබා ගැනීමේ දී ද ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් එන්නත් පොකුරු ද බිහිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ශරීර ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා විටමින් සී බහුල පලතුරු ආහාරයට ගැනීම වැදගත් බවත් විටමින් සී පෙති හැටියටද දිනපතා ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම ඉඟුරු කොත්තමල්ලි දිනපතා දවසට තුන් වරක් සීනි නොදා පානය කිරීම ද ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා වැදගත් වන බව චන්න ජයසුමන පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස