රජයේ ප්‍රධාන අරමුණ දූෂණය අවම කිරීමයි…! – ශෙහාන් සේමසිංහ..

October 21, 2023 at 8:44 am | by emanisa.lk

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ එකඟතාවන් නුදුරේදීම අවසන් කළ හැකි බවත්, රජයේ ප්‍රධානතම අරමුණ වූයේ දූෂණය අවම කිරීම සහ විනිවිදභාවය වැඩි කිරීම බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍යව තිබූ කාර්ය මණ්ඩල එකඟතාවට අප ඊයේ (19) රාත්‍රියේ එළඹුණා.

ඊට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක් පුරා පුළුල් ලෙස සමාලෝචන කරමින් අප සමඟ සාකච්ඡා සිදුකළා. එහි දී විවිධ විෂයයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු නිසා එක් වරම කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට නොහැකි වුණා.

ඒ නිසා මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවේදී අපි මේ පිළිබඳව තව දුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වන විටත් විවිධ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට සිදු වූ නිසා අප නැවත ලංකාවට පැමිණ ඔවුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා කළා. ඒ අනුවයි ඊයේ රාත්‍රියේ මෙම එකඟතාවට ඒමට හැකියාව ලැබුණේ. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡා සිදු කෙරුණා.

2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීමට අනුමැතිය ලැබුණු දා සිට එහි අපට තිබූ හිතකර තත්ත්වය පිළිබදව නොතකා පසුගිය සති කිහිපය වන විටත් ඇතැම් පාර්ශ්ව වෙතින් යම් යම් බාධා කිරීම් සිදුවුණා. ඇතැම් කණ්ඩායම්වලට මෙම සාකච්ඡා පිළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කළා. එහිදී ඔවුන් කටයුතු කලේ දෙවැනි වාරික මුදල අපට ලැබෙයි ද යන්න සම්බන්ධව සාමාන්‍ය ජනතාවටත් අනෙක් පාර්ශ්වයන්ටත් සැකයක් ඇතිවෙන ආකාරයටයි.

නමුත් දෙවැනි වාරිකය ලබාගැනීමට හෝ ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය ගැනීමට අප කිසිම බියක් ඇතිකර ගතයුතු නැති බව අප පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් දැඩිව අවධාරණය කළා. රජයක් ලෙස අපට ඒ විශ්වාසය තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය කිරීම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව මගින් බහුපාර්ශ්වික ණය හිමියන්ට හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව කිව යුතුයි.

ඒ වගේම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම (SLA) හරහා හරහා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල වෙත ඉතිරි වාරික ගෙවීමට හැකියාව ලැබෙනවා. එමගින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ එකඟතාවන් ද නුදුරේදීම අවසන් කළ හැකියි. රජයේ ප්‍රධානතම අරමුණ වුනේ දූෂණය අවම කිරීම සහ විනිවිදභාවය වැඩි කිරීමයි. ලංකාවේ ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ගෙන ඒම පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසා කළා. එමගින් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයට තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කෙරුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *