රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය සංගම්, සිවිල් ක්‍රියාකාරීන් මේ සඳහා එක්වන බව ද ඔහු කීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත්, විරෝධතා පැවැත්වීමේ අයිතියට බාධා නොකරන ලෙසටත් බල කරමින් මේ විරෝධතාව සංවිධාන කොට ඇතැයි ද ස්ටාලින් සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස තහවුරු කොට තිබියදීත් වසර සියයකටත් වඩා පැරණි පොලිස් ආඥා පනත භාවිත කරමින් උද්ඝෝෂණය කිරීමේ අයිතිය මර්දනය කිරීමට කිසිසේත් ම පොලිසියට ඉඩදිය නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.