රංජන් අධිකරණයෙන් සමාව ඉල්ලයි…! හෙට නැත්නම් සඳුදා නිදහස…!

August 25, 2022 at 5:16 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇති වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එහි සඳහන් කර ඇත.

තමා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේ දී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් ඔහු අධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

2017 අගෝස්තු 21 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කරනු ලැබිණි.

පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවන නඩුව ගොනු කර තිබිණි.

මේ අතර රංජන් රාමනායකට හෙට (26) හෝ සඳුදා (29) නිදහස හිමි වනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් සටහනක් තබමින් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *