යුද ජයග්‍රහණය හොඳ දෙයක් නෙමෙයි..! නියම විසඳුම ස්ථිර බලය බෙදීමයි..! – මෛත්‍රී…

February 13, 2022 at 5:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම අවසන් වී වසර දොළහක් ගතව ඇතත් අදටත්, ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන හෝ අන්තර්ජාතිකව අපේක්ෂිත සංහිදියා සම්මතයන් පරිපූර්ණ කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම යුද ගැටුම අවසානයේ දී සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රීය පාලනය ආදිය උදාකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව සිටි බැන් කි මූන් ඉමහත් ප්‍රයත්නයන් යෙදුවත්, එම සංහිදියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීමේ දී අපේක්ෂිත වේගයෙන් ධාවනයක් නොපෙන්වීම කනගාටුවක් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මේ බව පැවසුවේ කොරියාවේ සෝල් නුවර දී ආරම්භ වූ ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය ඊයේ (12) පවත්වමිනි.

අතිශය විප්ලවකාරී හා ක්ෂණික පිළියම් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතිකව සිදුකෙරුණු ඉල්ලීම් අතිසාධනීය බව ද හෙතෙම කීවේය. තමන් සාමය හා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාසය තබන බව කී හිටපු ජනාධිපතිවරයා ඕනෑම ගැටුම් තත්වයකට පිළියම යුද්ධය නොවිය යුතු බව ද පැවසීය.

එවන් අවස්තාවලදී අවශ්‍ය වන්නේ පාර්ශ්ව අතර විශ්වනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකය නැවත ගොඩනැගීම බව කී මෛත්‍රීපාල සිරිසේන, අන්තජාතිකව පිළිගත් “සංහිදියා කුලුනු හතර” ක්‍රියාවන් මත පිහිටා තමන් සංහිදියාවට පියවර තැබූ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සමඟ සාමය සඳහා ගත් ක්‍රියාදාමයන් අසාර්ථක වීම නිසා සාමය උදාකිරීම වෙනුවට යුද මාර්ගයට පිවිසුණත් එය මෙරටින් උගත යුතු යහ පාඩමක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා යුද්ධය යනු මිනිසාට අතිශයින්ම තිත්ත දෙයක් යැයි ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *