යන එන මං නැති පොහොට්ටුවෝ 50ක් ශ්‍රීලනිපයට…! ශ්‍රීලනිපය රැකගත් ආසන සංවිධායකලා අනාථයි..!

April 19, 2024 at 3:26 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂක ලේබලයෙන් තරඟ වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථාවාදී පිරිසක් කටයුතු කරමින් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.

“අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයේ දියුණුවට කටයුතු කරන කණ්ඩායම, පක්ෂය විනාශ කරන කණ්ඩායම, පක්ෂය වෙන පක්ෂවල කරේ එල්ලන්න හදන කණ්ඩායම වශයෙන් විවිධ කණ්ඩායම්වලට බෙදී තිබෙනවා.

අපි මේ සියලුදෙනාම එක මිටට ගත යුතුයි. ඒ සියලුම කණ්ඩායම්වලින් මා ඉල්ලන්නේ මේ සියලුම දෙනා එකතු වෙලා මාධ්‍ය හමුවක් කැඳවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයින් කැඳවා සාකච්ඡා කර නිවැරදි තීරණයක් ගන්නා ලෙසයි.

ව්‍යවස්ථානුකූලව පක්ෂයේ වගකීම තියෙන්නෙ පක්ෂ ලේකම්ටයි. වෙන කිසිවකුට ඒකේ වගකීමක් නෑ. මැතිවරණයකදී නිර්පාක්ෂික අපේක්ෂකයෙක් කියලා රනිල් වික්‍රමසිංහ දිනවන්න අවස්ථාවාදී පිරිසක් කරන මූලික සැලැස්මක් මේක.

බණ්ඩාරනායක මැතිතුමා මේ පක්ෂය හැදුවේ කාගෙවත් කරේ එල්ලන්න නෙවෙයි. අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ. ආර්ථිකය හදන්න, කෘෂිකර්මය විතරක් නෙවෙයි සෑම අංශයකින්ම හොඳ රටක් නිර්මාණය කරන්න අපි හොඳ සැලැස්මක් හදලයි තියෙන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ අය කරන ගැටවලට අහුවෙන්න එපා කියල. අපේ ශුද්ධ පාක්ෂිකයන් ලක්ෂ පහළොවකට වැඩිය ඉන්නවා. ඒ අය අනාථ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

ඒ වගේම තමයි පොදු ජන පෙරමුණේ මැති ඇමතින් පනහක් ඉන්නවලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න. ඒ අයට යන එන මං නැතිවෙලා. එහෙම ආවොත් මෙච්චර කලක් ජීවිත පරිත්‍යාගයෙන් පක්ෂය රැකගත් අපේ සංවිධායකවරු එළියට දාන්න වෙනවා.”

අම්බලන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *