මෝල් මාෆියාව සහල් මිල පාලනය කරන යුගය නිමයි! වී සංචිත පවත්වා ගෙන යන්න ආණ්ඩුව සූදානම්! – මහින්දානන්ද

November 8, 2020 at 9:13 pm | by emanisa.lk

සහල් මාෆියාව මැඬ පැවැත්වීම සඳහා ඉදිරි මහ කන්නයේ සිට සෑම කන්නයක ම වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුන බැගින් වී අලෙවි මණ්ඩලයට ගොවීන්ගෙන් මිල දී ගැනීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙක් ම ඉදිරි මහ කන්නයේ සිට කුඹුරු හෙක්ටයාර් එකකින් වී කිලෝ දහස බැගින් වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීම අනිවාර්ය බව ද ඇමැතිවරයා අනාවරණය කළේ ය.

වී අලෙවි මණ්ඩලය මගින් මෙලෙස වී තොග පවත්වා ගෙන යෑමෙන් ඉදිරියේ දී සහල් මෝල් හිමියන්ට හා නිෂ්පාදකයින්ට වෙළෙඳපොළේ සහල් මිල අත්තනෝමතික ලෙස ඉහළ දැමීමට ඉඩක් නො ලැබෙන බව ද වී අලෙවි මණ්ඩලය වී කිලෝවක් පවතින සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් ලබා ගන්නා බව ද හෙතෙම සඳහන් කළේ ය.

වී තොග පවත්වා ගෙන යෑමට මණ්ඩලය සතු ගබඩා ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් රුපියල් මිලියන සියයක මුදලක් වෙන්කර ඇති බව කී ඇමැතිවරයා සහල් මෝල් හිමියන්ගේ මාෆියාවෙන් පාරිභෝගික ජනතාව බේරා ගැනීමට රජය මෙම පියවර ගත් බව ද වැඩිදුරටත් පැවැසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස