මේ ISIS ත්‍රස්තයා ගැන ඔත්තුවකට දුන්නොත් ලක්ෂ 20ක්…!

May 26, 2024 at 12:11 pm | by emanisa.lk

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනාට සම්බන්ධ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

ඒ අනුව සැකකරුගේ රූපරාමු කිහිපයක් සහ ඡායාරූපයක් ද පොලීසිය අද (25) මාධ්‍යයට නිකුත් කළේය. 46 හැවිරිදි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් එම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අඩි 05යි අඟල් 06ක් පමණ උස පුද්ගලයෙකි.

එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ 071-8591753 දුරකථන අංකයට හෝ එහි ස්ථානාධිපතිවරයාගේ 071-8591774 අංකයට දැනුම් දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ විස්සක ත්‍යාග මුදලක් පිරිනමන අතර තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

එමෙන්ම මේ වන විට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය භාරයේ රඳවා ප්‍රශ්න කරන ත්‍රස්තයින්ගේ සහ ISIS සංවිධානයේ අනුගාමිකයින් මෙරට තුළ සිටින්නේදැයි තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

පාස්කු කොමිසමේ වාර්තාවෙන් අවධානය යොමුකළ යුතු නාමලේඛනයක් ඉදිරිපත් කර තිබුණත් එම පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයෙන් නොසිටි බවට ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඉන්දියාවේදී ත්‍රස්තයින් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට යළිත් ඒ පිළිබඳ අවධානය යොමුවී ඇති අතර පාස්කු කොමිසමේ නම් ඇතුළත් පිරිස සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම එම පිරිසට ප්‍රබල දේශපාලන සබඳතා ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *