රට නැවතත් ශක්තිමත් කළ සැණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ වැළැක්ම ලබාදෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.
එසේ වෙතත් මේ මොහොතේ අවශ්‍ය වී ඇත්තේ මැතිවරණයක් නොව රට ජාතික මාවතකට ගැනීම සඳහා අරගලයක් බව පැවසූ එජාප සභාපතිවරයා, මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලීම යනු රට නැවතත් කුණු බක්කියට ඇද දැමීමක් බවයි සඳහන් කළේ.
ඇදවැටුණු රට අනිවාර්යයෙන්ම ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔසවා තබනු ඇති බවත් වජිර අබේවර්ධන අවධාරණය කළේය.
එමෙන්ම මීට මාස කිහිපයකට පෙර බොහෝ දේශපාලනඥයින් ඉල්ලුවේ ඡන්දයක් නොව හැංගෙන්නට තැනක් බව සිහිපත් කළ වජිර අබේවර්ධන, රනිල් වික්‍රමසිංහ රට භාරගෙන කෙටි කාලයක් ඇතුළත රට යම් සාමාන්‍ය තත්ත්වයකට රැගෙන පැමිණ ඇති බවත් ප්‍රකාශ කළේය.