කොවිඩ් එන්නත් මගින් පුද්ගලයින්ගේ සිරුරට ප‍්‍රතිශක්තියක් ඇති වීමට මාස දෙකක හෝ තුනක පමණ කාලයක් ගතවන බැවින් මේ වන විට රට පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරස රෝගය පාලනය සඳහා ඇති එක ම විසඳුම ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීම යැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.
“කොවිඩ් රෝගය ශ‍්‍රී ලංකාවේ පැතිර ගිය මුල් අවස්ථාවේ දී දිනකට රෝගීන් හමු වූයේ ඉතා සුළු පිරිසක්. නමුත් දැන් දිනකට විශාල පිරිසක් හමුවෙනවා. මේ වන විට රට තුළ පැතිර යන බ්‍රිතාන්‍ය ප‍්‍රභේදයට ගොදුරු වන පිරිස වැඩියි.
එනිසා එන්නත් කිරීම, මුව ආවරණ පැළඳ ගමන් බිමන් යෑම මගින් පමණක් මෙම වසංගතය පාලනය කරන්න බැහැ. අනිවාර්යයෙන්ම සංචරණ සීමා පැනවිය යුතුයි.
රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නැති ආසාදිතයින් නිවෙස්වලම රඳවා ප‍්‍රතිකාර ලබාදීම හොඳයි. ඔවුන්ගේ ආශ‍්‍රිතයින්ද නිවෙස් තුළම නිරෝධායනය කිරීම වඩාත් සුදුසුයි. එය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය මත සිදු කළ යුතුයි.”
ඇය මේ බැව් පැවසූවේ ශ‍්‍රී ලංකා වෛද්‍යසංගම් මූලස්ථානයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේ දී ය.